Monday, June 27, 2011

34. දුෂ්කර සේවේ නිමා වී අලුත් ඉස්කෝලෙකට යන අපේ ගුරුතුමීට



බොර ඇළෙන්
යටිපතුල් දොවා ගත්තා
වලාකුළු ඇටසැකිලි ඈත්කර කර නුඹ
කන්ද උඩින් එබී
පෘථිවිය දිහා බැලුවා.
හැමදාම
අපේ පොල් අතු ඉස්කෝලෙ දැක්කා


කටුඉඹුල් පතොක් ගස් පීර පීරා
කරත්ත පාර දිගේ ඇවිදගෙන ඇවිත්
ආයෙමත් එක මොහොතක
අපේ පුන්චි ගම්මානෙට ගොඩවෙන්න මිස්.


ඇවිත් නියඟය
හෙණ්ඩුවෙන් අනින කොට නිලවලට
පැන ඇවිත් පිපාසය
ලේස් පටියෙන් බෙල්ල මිරිකයි.
කිරි දුන්නෙ මේ අපට
නුඹ තමයි මිස් එතකොට


කළුලෑල්ල පුරාම
සුදු පාට රටහුණු මල් පිපුණාම
ඒ මල්වලට සුවඳ ලැබෙන්නේ
පාසලේ පොඩි ළමුන්ගෙන්ය කීවේ
නුඹයි මිස්


අවසන් සීනුව
වැදුණු පසු
නළ ළිඳක් වෙලා
හදවතේ පතුලින්ම වතුර ඇද ඇද
ශිෂ්‍යත්ව පන්තියේ පාත්තියට
හැමදාම ඉස්සේ නුඹයි මිස්


විවේක වෙලාවට
බඩගින්න
බුරුම කට්ටෙන් කුසපොත්ත හිල් කරන
ළමුන් පෙනුණේ
නුඹට විතරද මිස් ?
බත් පතින් ත්‍රීපෝෂ අරගෙන
කටින් කට අපට කැව්වේ නුඹයි මිස්.


දවසක්
ඉස්කෝලෙ කිරි ගහේ
පාත අත්තක
ගමට ම පනා මලක් පිපුණා
සමනළුන් කෝටියක්
ඉගිළුණා නුඹෙ සිතේ
ඒක අපි දැක්ක මිස්


අලුත් සාරි පොටින්
අපේ කඳුළු පිහදැම්ම ගුරුතුමී
ඇයි මහා වැස්සක්
ඔය ඇහේ අද
මේ බලන්ට
අපි ඔක්කෝම
දහයෙන් එකොළහට පාස් වුණා මිස්
කොයි සල්පිළෙන් නෙළා ගත්තාද 
මේ තරම් පලතුරු අපට


දිවි පොතේ තව පිටක්
ගැලවිලා බිම වැටුණා තමයි.
කළු ලෑල්ලේ තෙත වලාකුළු ඇන්ඳ අත
අනේ අපට පෙන්නන්ට මිස්
ඒදණ්ඩෙන් එගොඩ වෙලා
දුර ඈත අලුත් ඉස්කෝලෙට යන කොට
ඒ අතින් මේ කවිය
තනියට ගෙනියන්ට මිස්.

33. දේවදත්තගේ ගාථා පහ !



මුහුණ සමග නොව
නුඹ වහන්සේ සමග තරහින්
මම මගේ නහය කපා ගතිම්


අපායෙන් චුත ව අද
නුඹ වහන්සේ හොයාගෙන
පිම්මේම ගල්විහාරෙට ආවෙම්


නයිලෝන් මකුළු දැලක
පැටලුණූ අතීතයක මතක මිස
නුඹ වහන්සේ පුදන්නට
මම තවම අලුත් ගාථාවක් හොයාගෙන නැතියෙම්


ඇතා, වඳුරා මෙන්
මීවඳ, උක්ඳඩු හොයාගෙන
මේ පාරිලෙ‍ය්ය වනයට
දන් පිණීස කොහොම මම ගෙනෙම්
එක දවසක් නොව
එදා සිටම මට
ගල් පෙරළනා හෙයින් තවමත්


ලෝකයම වෙනුවෙන් පිපුණ
නුඹ වහන්සේට නොවඳින
මේ අත් දෙක
ඇත්තටම කොස් කොටන්ට ද ඉතිං


මේ කවි අහුලාන මින් මතු ව 
උදේ හවස හැමදාම මම
නුඹ වහන්සේට වඳිම්

32. හිමිකාරියට



හෙමින් පා තබ තබා
හෙවණැල්ල සේ පිටුපසින්
පැමිණෙනා හඬ දැනෙයි මට
යන එන හැමතැන ම
ඡායාවක් වගේ
හදවත පුරා වැතිරී හිඳියි නුඹ


ගමක
නගරයක
කාන්තාරයක
ක්ෂේම භූමියක
මුහුදු හතෙන් එහා
නොදන්නා වෙන රටක
මේ කොහේ හෝ තැනක
නුඹ ඇත්තටම
ජීවත් වෙනවා ඇති
මේ දැනුත්


සමහරවිට දැන්
කන්තෝරුවක වැඩ කරනවා ඇති නුඹ
ඉහින්කනින් වීර්යය වඩාගෙන.
කුස්සියේ යුධ දුම් මැද තිනිවෙලා
ගම්මානයටම බතක් උයනවා ඇති.
කාටවත් ම නෑසෙන්නට හොරෙන්
අලුත් කවියක් නෙළාගෙන
සමනළ තටු පිරිමදිනවා ඇති සෙමින්.
අසනීපයක් හැදී
අනේ ඇසේ මල්පෙති පියාගෙන
රෝහලක දිගෑදී ඇති.....


නුඹ 
හවස් වරුවේ
ගහක් යට ඈඳිගෙන ඉන්න කොට
ඈත අහසේ මුව පුරා
රාස්සිගේ හිනාව ඉහිරෙනවා දකිනවා ඇති.
කුරුල්ලන් ගී ගයා
පියාඹා කඳු වළල්ලට උඩින් යන කොට
මලක් ගෙල දිගු කර
නටුවෙන් එබෙනවා පේනවා ඇති.
දේදුන්නක් නැමී
වැව් දියේ ළය අතගානවා
දැනෙනවා ඇති.
දෙපා මුල දැවටෙන
මද පවන
යාන්තමට අත්තටු සලන හඬ
ඇහෙනවා ඇති.
ගල්පරයක් උඩ වාඩිවෙලා
ඔහේ තනි ව ම ඉන්න කොට
මහ මුහුදෙ ගොළු මාළුවෙක් ඉන්නවා දකිනවා ඇති.
කොහේ හිටියත් නුඹට
සැබෑවටම මං ගැන
මොකක් හරි හිතෙනවා ඇති.


තවත් හැංගෙන්නේ මොකටද ඉතිං
ඉන්න තැනකින්
එළියට එනවාද අද හෙටම

31. අවසාන මොහොත



මහා ඉස්පිරිතාලයේ
පලන්චි ඇඳක් මත
වර්තමානය බොඳ වෙලා ඇදවැටුණ
අවසාන සිහිනයෙන්
පන්සලේ බිතුසිතුවම
කරුණාවෙ පාටින් පාට කර නිමකරන
අපේ සිත්තර ගුරුන්නාන්සේ
නුඹේ රුව
අනේ ඇටසැකිලි සිතුවමක් සේය දැන්
පරණ වෙද පොතක
සනිටුහන් වුණ


නාරන් ගහේ
අවසාන ගෙඩිය නෙළාගෙන
ගෙනාවෙමු අපි නුඹට
සන්සාරයේ දුර ගෙවාගෙන


මේ නාරන් ගෙඩිය
මේ මහා පෘථිවියයි
එහි
බටහිර බික් ගලවගෙන
හෙමි හෙමින් වීර්යය වලඳන්න
ජීවිතය
තවත් මොහොතකට ලැබෙනු නිසැකය
පෝෂණය වැඩි හෙයින්.


පින්සලේ හිසකෙස් අගට
ආදරය අරගෙන
මේ දිවයින මත
නුඹ ඇන්ද වටිනා ම සිතුවම
නුඹේ දරුවන්ය.
ණයට ගත්
රුපියල් සදිසි ඇස්වලින් උන්
බලා හිඳිති
ගල් ගැසී නුඹ දෙස ම


පන්සලේ
උළුවහු ලතාවල හැම තැන ම
නුඹේ සිතුවිලි, හැඟුම්
සදාකාලෙට මල් ලෙසින් පිපිලාය.
පින්සල් කූරු සදිසි
නුඹේ අත් දෙක
රන් සෑ ම බැන්දේය.
වඩම්මාගෙන ඇවිත් කොත
අපේ හිස මුදුනේ ම
පැලැන්දුවේය.
වෙසතුරු රජතුමා
දරුවන් දන් දෙනා දවස
හොරෙන් හඬ හඬා පාට කෙරූ හැටි නුඹ
හදවතේ මළ නොකන තැන
හැමදාටම රැදිලාය.


ගුරුතුමා
නුඹේ පසුපස ම 
අපේ දුප්පත් ගම්මානයට පැමිණි
අපි නුඹේ ගෝලයින්
ජීවිතේ බිතු මත අද
කටු සිතුවම් ව ඇලවිලා ගිය.
කුමන පාටකින් වුව
නුඹේ රූපය ම පමණක්
සදාකාලෙට
ඇඳ නිමාකරගත
නොහැකි ව !

30. ගල් වැඩපළේ බුදුන්



ගල්තලාව ම පැළී යන්නට
කුළුගෙඩියෙන් ගහන
ගිනිහමය.
කරුණාවේ හෙවණැල්ල
බිම පුරා එළන්නට
වැඩබිමේ ඇසතු ගස් නැතිය.
ඈත උල්පතය
එක ම ලේ බිදුවක් උනන.

ඇනුම් බැනුම් බෝර පුපුරණ
ගල්වලේ
ගෙදර බුදුන් වැඩහිඳිති
දරුවන්ට බුදුවෙන්ට
උන්වහන්සේ තවමත්
දුෂ්කරක්‍රියා කරති

මැටල් පද්මාසනය මත
තබාගෙන
ගල්තැලුණු නිර්වස්ත්‍ර ශ්‍රී පතුල්
විශාලා පුරවරයට
පිරිත් සජ්ජායනාවක් කරති

රැගෙන
සිහින ගල් කුඩු තැවරුණ පිරිවටය
තුන් වේලට ම
ඩහදියේ ලුණු සයුර පිහදමාගනිති
ලද කහට කෝප්පෙත්
ගෙදරටම
පාත්‍රයෙන් වඩම්මති.

සිල්ලර කාසි පඩිදාට
ගිජ්ජකූටය මුදුනේ සිට
තවමත් දේවදත්තර
ගල් පෙරළයි.
සල්පිල්වල රැක සිට
දුනුවායෝ
මග දිගට හී විදිත්.
දෙවැට දිග තනි ව ම
ගල්ගෙඩි පාවඩ උඩින් වඩින කල
සුරා බී මද කිපුණු
කැලෑ අලියෝ පන්නත්.

ගඳකිළියේ
කැඳ ඉදෙන ලිප ළඟින් වාඩි වී
දර කෝටු එකතු කොට එකින් එක
ජීවිතය ගොඩනගන
බුදුනි.....
බූරු ඇඳේ
නුඹ වැඩහිඳින ඔය මුද්‍රාව
කිසිවෙකුත්
විහාර සිතුවමක
තවමත් අඹා නම් නැත

මේ සැකිලි වචන හැර
නුඹ ගැන ලියන්නට
වෙනත් මහා ගාථාවක්
ජාතක කථාවක්
කිසිවෙකුත්
මට උගන්වා ද නැත !


29. කිසාගෝතමී



පැදුරු මිටිය වඩාගෙන
වාලුකා නගරයේ
ගෙයින් ගෙට යන ගෝතමී
තඹ කාසි අත්මිටක් හොයාගෙන
කිරිපිටි පැකැට්ටුව මිලට අරගෙන
ලෑලි මාලිගයට දුවන්නී.


පන්කොළ අතින් මොට කොට
ගිනි අව්වේ දැළිපිහා තල
කුරුළු පැටවුන්ට වලාකුළු සෙවණැල්ල
සදන්නී.
වැට කඩුල්ලක් සේ
පැල ඉදිරිපිට හිටගෙන
හිමි සඳ වඩී දැයි
අහස දෙස බලාගෙන හිඳින්නී


පාන්පෙති, කට්ටසම්බෝල බදාමෙන්
ගඩොළු බිත්ති ආමාශය
කපරාරු කරගන්නී


සඳ එළිය යට
වාඩි වී
පොල් ඉරටු සේ කෙට්ටු
ඇඟිලි තුඩුවලින් ඇය
සෙනෙහසේ කළාලය
ලෝකාවසානය තෙක් ම වියන්නීය
ගොම පොළොවේ
ගත එළාගන්නීය


මිනී ගඳ හීනයේ
විෂකුරුෂ පන් කටු
හදවතේ ඇඟිලි තුඩුවල ඇනෙන්නේ
තිගැස්සී අවදි වී
දරුවන් සිටී දැයි වෙව්ලමින් බලන්නී
උන් හොඳින් නිදනයුරු දැක
පන් මලක් වී මව්බිමට ම පිපෙන්නී

28. සැලූන් මාමා



බෝම ඈත ඉස්සර
තිබුණා මේ හන්දියේ හරි මැද
කොස් ගසක්
කාල වර්ණයෙන් සරීරෙම බැබලුණ


මට මතකයි තවමත්
ඒ කොස් ගහ පාමුල
ලෑලි පෙට්ටි සැලූන් කඩය
වෘක්ෂ දේවතාවුන්ගේ වුව
හිස හැදුව


අරගෙන කතුර වමතට
බෙල්ල නොවෙයි උඹ කැපුවේ
කොන්ඩය මිස


අතුල්ලා කිඹුල් හමේ
කෙස් ගසත්
දෙකට පැළෙන තරමට
මුවහත් කොට දැළිපිහිය
හීන් නූලෙන් කැපුවේ නැත අත්පා නුඹ
රැවුල ම මිස.


රැගෙන මුස්නක් අතට
මඛාදේව රජවරුන්ගේ
නරකෙස් මිස
නුඹ නොවෙයි අතීතය
අතුගාලා දැම්මේ එළියට


බාබර් මාමා
උඹ දැන් කොහේද ඇත්තට ?
ආවේ අපි හුඟ කාලෙකින්
අපේ ගමට


අලුයම ම
හන්දියට
හුළුඅත්ත පත්තුකරගෙන ආවේ නුඹ
දිය යටින් හෙම නොවේ
ගමේගොඩේ අඩිපාර දිගේ
ඇවිදගෙන ම මිස


ඒ ආවා මිස නුඹ
ගිය වගක්
නැතිය අප දැනගෙන උන්නේ
කිසිවිට


අනේ ආයෙත් දවසක
එන්ට මාමා හන්දියට
දැළිපිහා, කතුරු නොව
මේ මගේ දරුවන්ටත්
පුන්චි සීනි බෝලයක් අරගෙන