Sunday, June 26, 2011

‎17. දුෂ්කර පළාතේ අකීකරු සිසුවා !


ගල් අඟුරු ගල් කැට විරිත්තන
පාර දිගේ
ගව් හතක් දෙපයින් ඇවිදගෙන
ආණ්ඩුවේ පාසලට එන සිසුවා !
භූගෝල පෙළ පොතේ
පෑන් ඉරක් ගලා ගෙන යන
නේරංජනා නදිය දැක
ඉන් එගොඩ වී
පන්තිකාමර පොල් අතු මඩුවට ඇතුළු වෙන්නා.
තුන් වෙනි ලෝකයේ
කඳු ශිකර ගිරි දුර්ග
යාය වටේට ම දකින්නා.

පාසල නිමා වී ගොසින
හේන මත උදැල්ලෙන් 
මහා රචනාවක් ලියන්නා.
වාර විභාගයට
පොත පුරා 
කරගැටයක් සදිසි ලොකු බින්දුවක් ලබන්නා.

බඩගින්නේ මියෑදුණු
වාර ගණන එකතු කොට
කොටුරූල් කොළයක සතපවා
මහා සූත්‍රයක් තනන්නා
විසඳනා ක්‍රමයක් නොදන්නා.

සැතපුම් කණු අත ගගා යන 
මේ සංසාර ගමන 
ප්‍රස්තාරගත කරන්නට 
සෙන්ටිමීටරයක් දිග පැන්සලෙන් පුලුවන් ද 
අසන්නා.

හිස මතින් රැගෙන ගොස්
කාන්තාර ජීවිතේ ප්‍රෙහෙලිකාව පුරවන්ට 
සාහිත්‍ය පොතෙන් 
මහා අක්ෂර වර්ෂාව වැටෙන්නේ කොතැනට දැයි 
පෙන්නන්ට කියන්නා.

ගහෙන් කඩාගත්
තනිරූල් කොළය මත 
අඹරවා මලකඩ කවකටුව
චිත්‍රයක් අඳින්නා.
පාසලට ම තෑගි ලැබුණු
පාට පැස්ටල් පෙට්ටියේ
කඳුළුවල පැහැය නැතියෙන 
පාට නොකර ම හිඳින්නා.

අම්මාගේ පපුවේ කැක්කුම
මනින්නට නොහැකි
මේ අඩිකෝදුව කුමකට දැයි
හයියෙන් ම අසන්නා.

ගුරු අතින්
හිස හිල්වෙන්ට ටොක්ක කා
හිත පුරා තරු ගනින්නා.

සියල්ල ම පසිඳ දැනගත්
මගේ මුල් ගුරුතුමනි
ඉතින්
විද්‍යා පොතේ
සමබර ආහාර වේල
පිසෙන පිට
ඉරා කෑ හැකිද 
වන්නියේ
මන්ද පෝෂිත දරුවන්ට 
අඩිරූල් ඇත්,පාවල ලේ පිරෙන්නට ?

No comments:

Post a Comment