Monday, June 27, 2011

34. දුෂ්කර සේවේ නිමා වී අලුත් ඉස්කෝලෙකට යන අපේ ගුරුතුමීට



බොර ඇළෙන්
යටිපතුල් දොවා ගත්තා
වලාකුළු ඇටසැකිලි ඈත්කර කර නුඹ
කන්ද උඩින් එබී
පෘථිවිය දිහා බැලුවා.
හැමදාම
අපේ පොල් අතු ඉස්කෝලෙ දැක්කා


කටුඉඹුල් පතොක් ගස් පීර පීරා
කරත්ත පාර දිගේ ඇවිදගෙන ඇවිත්
ආයෙමත් එක මොහොතක
අපේ පුන්චි ගම්මානෙට ගොඩවෙන්න මිස්.


ඇවිත් නියඟය
හෙණ්ඩුවෙන් අනින කොට නිලවලට
පැන ඇවිත් පිපාසය
ලේස් පටියෙන් බෙල්ල මිරිකයි.
කිරි දුන්නෙ මේ අපට
නුඹ තමයි මිස් එතකොට


කළුලෑල්ල පුරාම
සුදු පාට රටහුණු මල් පිපුණාම
ඒ මල්වලට සුවඳ ලැබෙන්නේ
පාසලේ පොඩි ළමුන්ගෙන්ය කීවේ
නුඹයි මිස්


අවසන් සීනුව
වැදුණු පසු
නළ ළිඳක් වෙලා
හදවතේ පතුලින්ම වතුර ඇද ඇද
ශිෂ්‍යත්ව පන්තියේ පාත්තියට
හැමදාම ඉස්සේ නුඹයි මිස්


විවේක වෙලාවට
බඩගින්න
බුරුම කට්ටෙන් කුසපොත්ත හිල් කරන
ළමුන් පෙනුණේ
නුඹට විතරද මිස් ?
බත් පතින් ත්‍රීපෝෂ අරගෙන
කටින් කට අපට කැව්වේ නුඹයි මිස්.


දවසක්
ඉස්කෝලෙ කිරි ගහේ
පාත අත්තක
ගමට ම පනා මලක් පිපුණා
සමනළුන් කෝටියක්
ඉගිළුණා නුඹෙ සිතේ
ඒක අපි දැක්ක මිස්


අලුත් සාරි පොටින්
අපේ කඳුළු පිහදැම්ම ගුරුතුමී
ඇයි මහා වැස්සක්
ඔය ඇහේ අද
මේ බලන්ට
අපි ඔක්කෝම
දහයෙන් එකොළහට පාස් වුණා මිස්
කොයි සල්පිළෙන් නෙළා ගත්තාද 
මේ තරම් පලතුරු අපට


දිවි පොතේ තව පිටක්
ගැලවිලා බිම වැටුණා තමයි.
කළු ලෑල්ලේ තෙත වලාකුළු ඇන්ඳ අත
අනේ අපට පෙන්නන්ට මිස්
ඒදණ්ඩෙන් එගොඩ වෙලා
දුර ඈත අලුත් ඉස්කෝලෙට යන කොට
ඒ අතින් මේ කවිය
තනියට ගෙනියන්ට මිස්.

33. දේවදත්තගේ ගාථා පහ !



මුහුණ සමග නොව
නුඹ වහන්සේ සමග තරහින්
මම මගේ නහය කපා ගතිම්


අපායෙන් චුත ව අද
නුඹ වහන්සේ හොයාගෙන
පිම්මේම ගල්විහාරෙට ආවෙම්


නයිලෝන් මකුළු දැලක
පැටලුණූ අතීතයක මතක මිස
නුඹ වහන්සේ පුදන්නට
මම තවම අලුත් ගාථාවක් හොයාගෙන නැතියෙම්


ඇතා, වඳුරා මෙන්
මීවඳ, උක්ඳඩු හොයාගෙන
මේ පාරිලෙ‍ය්ය වනයට
දන් පිණීස කොහොම මම ගෙනෙම්
එක දවසක් නොව
එදා සිටම මට
ගල් පෙරළනා හෙයින් තවමත්


ලෝකයම වෙනුවෙන් පිපුණ
නුඹ වහන්සේට නොවඳින
මේ අත් දෙක
ඇත්තටම කොස් කොටන්ට ද ඉතිං


මේ කවි අහුලාන මින් මතු ව 
උදේ හවස හැමදාම මම
නුඹ වහන්සේට වඳිම්

32. හිමිකාරියට



හෙමින් පා තබ තබා
හෙවණැල්ල සේ පිටුපසින්
පැමිණෙනා හඬ දැනෙයි මට
යන එන හැමතැන ම
ඡායාවක් වගේ
හදවත පුරා වැතිරී හිඳියි නුඹ


ගමක
නගරයක
කාන්තාරයක
ක්ෂේම භූමියක
මුහුදු හතෙන් එහා
නොදන්නා වෙන රටක
මේ කොහේ හෝ තැනක
නුඹ ඇත්තටම
ජීවත් වෙනවා ඇති
මේ දැනුත්


සමහරවිට දැන්
කන්තෝරුවක වැඩ කරනවා ඇති නුඹ
ඉහින්කනින් වීර්යය වඩාගෙන.
කුස්සියේ යුධ දුම් මැද තිනිවෙලා
ගම්මානයටම බතක් උයනවා ඇති.
කාටවත් ම නෑසෙන්නට හොරෙන්
අලුත් කවියක් නෙළාගෙන
සමනළ තටු පිරිමදිනවා ඇති සෙමින්.
අසනීපයක් හැදී
අනේ ඇසේ මල්පෙති පියාගෙන
රෝහලක දිගෑදී ඇති.....


නුඹ 
හවස් වරුවේ
ගහක් යට ඈඳිගෙන ඉන්න කොට
ඈත අහසේ මුව පුරා
රාස්සිගේ හිනාව ඉහිරෙනවා දකිනවා ඇති.
කුරුල්ලන් ගී ගයා
පියාඹා කඳු වළල්ලට උඩින් යන කොට
මලක් ගෙල දිගු කර
නටුවෙන් එබෙනවා පේනවා ඇති.
දේදුන්නක් නැමී
වැව් දියේ ළය අතගානවා
දැනෙනවා ඇති.
දෙපා මුල දැවටෙන
මද පවන
යාන්තමට අත්තටු සලන හඬ
ඇහෙනවා ඇති.
ගල්පරයක් උඩ වාඩිවෙලා
ඔහේ තනි ව ම ඉන්න කොට
මහ මුහුදෙ ගොළු මාළුවෙක් ඉන්නවා දකිනවා ඇති.
කොහේ හිටියත් නුඹට
සැබෑවටම මං ගැන
මොකක් හරි හිතෙනවා ඇති.


තවත් හැංගෙන්නේ මොකටද ඉතිං
ඉන්න තැනකින්
එළියට එනවාද අද හෙටම

31. අවසාන මොහොත



මහා ඉස්පිරිතාලයේ
පලන්චි ඇඳක් මත
වර්තමානය බොඳ වෙලා ඇදවැටුණ
අවසාන සිහිනයෙන්
පන්සලේ බිතුසිතුවම
කරුණාවෙ පාටින් පාට කර නිමකරන
අපේ සිත්තර ගුරුන්නාන්සේ
නුඹේ රුව
අනේ ඇටසැකිලි සිතුවමක් සේය දැන්
පරණ වෙද පොතක
සනිටුහන් වුණ


නාරන් ගහේ
අවසාන ගෙඩිය නෙළාගෙන
ගෙනාවෙමු අපි නුඹට
සන්සාරයේ දුර ගෙවාගෙන


මේ නාරන් ගෙඩිය
මේ මහා පෘථිවියයි
එහි
බටහිර බික් ගලවගෙන
හෙමි හෙමින් වීර්යය වලඳන්න
ජීවිතය
තවත් මොහොතකට ලැබෙනු නිසැකය
පෝෂණය වැඩි හෙයින්.


පින්සලේ හිසකෙස් අගට
ආදරය අරගෙන
මේ දිවයින මත
නුඹ ඇන්ද වටිනා ම සිතුවම
නුඹේ දරුවන්ය.
ණයට ගත්
රුපියල් සදිසි ඇස්වලින් උන්
බලා හිඳිති
ගල් ගැසී නුඹ දෙස ම


පන්සලේ
උළුවහු ලතාවල හැම තැන ම
නුඹේ සිතුවිලි, හැඟුම්
සදාකාලෙට මල් ලෙසින් පිපිලාය.
පින්සල් කූරු සදිසි
නුඹේ අත් දෙක
රන් සෑ ම බැන්දේය.
වඩම්මාගෙන ඇවිත් කොත
අපේ හිස මුදුනේ ම
පැලැන්දුවේය.
වෙසතුරු රජතුමා
දරුවන් දන් දෙනා දවස
හොරෙන් හඬ හඬා පාට කෙරූ හැටි නුඹ
හදවතේ මළ නොකන තැන
හැමදාටම රැදිලාය.


ගුරුතුමා
නුඹේ පසුපස ම 
අපේ දුප්පත් ගම්මානයට පැමිණි
අපි නුඹේ ගෝලයින්
ජීවිතේ බිතු මත අද
කටු සිතුවම් ව ඇලවිලා ගිය.
කුමන පාටකින් වුව
නුඹේ රූපය ම පමණක්
සදාකාලෙට
ඇඳ නිමාකරගත
නොහැකි ව !

30. ගල් වැඩපළේ බුදුන්



ගල්තලාව ම පැළී යන්නට
කුළුගෙඩියෙන් ගහන
ගිනිහමය.
කරුණාවේ හෙවණැල්ල
බිම පුරා එළන්නට
වැඩබිමේ ඇසතු ගස් නැතිය.
ඈත උල්පතය
එක ම ලේ බිදුවක් උනන.

ඇනුම් බැනුම් බෝර පුපුරණ
ගල්වලේ
ගෙදර බුදුන් වැඩහිඳිති
දරුවන්ට බුදුවෙන්ට
උන්වහන්සේ තවමත්
දුෂ්කරක්‍රියා කරති

මැටල් පද්මාසනය මත
තබාගෙන
ගල්තැලුණු නිර්වස්ත්‍ර ශ්‍රී පතුල්
විශාලා පුරවරයට
පිරිත් සජ්ජායනාවක් කරති

රැගෙන
සිහින ගල් කුඩු තැවරුණ පිරිවටය
තුන් වේලට ම
ඩහදියේ ලුණු සයුර පිහදමාගනිති
ලද කහට කෝප්පෙත්
ගෙදරටම
පාත්‍රයෙන් වඩම්මති.

සිල්ලර කාසි පඩිදාට
ගිජ්ජකූටය මුදුනේ සිට
තවමත් දේවදත්තර
ගල් පෙරළයි.
සල්පිල්වල රැක සිට
දුනුවායෝ
මග දිගට හී විදිත්.
දෙවැට දිග තනි ව ම
ගල්ගෙඩි පාවඩ උඩින් වඩින කල
සුරා බී මද කිපුණු
කැලෑ අලියෝ පන්නත්.

ගඳකිළියේ
කැඳ ඉදෙන ලිප ළඟින් වාඩි වී
දර කෝටු එකතු කොට එකින් එක
ජීවිතය ගොඩනගන
බුදුනි.....
බූරු ඇඳේ
නුඹ වැඩහිඳින ඔය මුද්‍රාව
කිසිවෙකුත්
විහාර සිතුවමක
තවමත් අඹා නම් නැත

මේ සැකිලි වචන හැර
නුඹ ගැන ලියන්නට
වෙනත් මහා ගාථාවක්
ජාතක කථාවක්
කිසිවෙකුත්
මට උගන්වා ද නැත !


29. කිසාගෝතමී



පැදුරු මිටිය වඩාගෙන
වාලුකා නගරයේ
ගෙයින් ගෙට යන ගෝතමී
තඹ කාසි අත්මිටක් හොයාගෙන
කිරිපිටි පැකැට්ටුව මිලට අරගෙන
ලෑලි මාලිගයට දුවන්නී.


පන්කොළ අතින් මොට කොට
ගිනි අව්වේ දැළිපිහා තල
කුරුළු පැටවුන්ට වලාකුළු සෙවණැල්ල
සදන්නී.
වැට කඩුල්ලක් සේ
පැල ඉදිරිපිට හිටගෙන
හිමි සඳ වඩී දැයි
අහස දෙස බලාගෙන හිඳින්නී


පාන්පෙති, කට්ටසම්බෝල බදාමෙන්
ගඩොළු බිත්ති ආමාශය
කපරාරු කරගන්නී


සඳ එළිය යට
වාඩි වී
පොල් ඉරටු සේ කෙට්ටු
ඇඟිලි තුඩුවලින් ඇය
සෙනෙහසේ කළාලය
ලෝකාවසානය තෙක් ම වියන්නීය
ගොම පොළොවේ
ගත එළාගන්නීය


මිනී ගඳ හීනයේ
විෂකුරුෂ පන් කටු
හදවතේ ඇඟිලි තුඩුවල ඇනෙන්නේ
තිගැස්සී අවදි වී
දරුවන් සිටී දැයි වෙව්ලමින් බලන්නී
උන් හොඳින් නිදනයුරු දැක
පන් මලක් වී මව්බිමට ම පිපෙන්නී

28. සැලූන් මාමා



බෝම ඈත ඉස්සර
තිබුණා මේ හන්දියේ හරි මැද
කොස් ගසක්
කාල වර්ණයෙන් සරීරෙම බැබලුණ


මට මතකයි තවමත්
ඒ කොස් ගහ පාමුල
ලෑලි පෙට්ටි සැලූන් කඩය
වෘක්ෂ දේවතාවුන්ගේ වුව
හිස හැදුව


අරගෙන කතුර වමතට
බෙල්ල නොවෙයි උඹ කැපුවේ
කොන්ඩය මිස


අතුල්ලා කිඹුල් හමේ
කෙස් ගසත්
දෙකට පැළෙන තරමට
මුවහත් කොට දැළිපිහිය
හීන් නූලෙන් කැපුවේ නැත අත්පා නුඹ
රැවුල ම මිස.


රැගෙන මුස්නක් අතට
මඛාදේව රජවරුන්ගේ
නරකෙස් මිස
නුඹ නොවෙයි අතීතය
අතුගාලා දැම්මේ එළියට


බාබර් මාමා
උඹ දැන් කොහේද ඇත්තට ?
ආවේ අපි හුඟ කාලෙකින්
අපේ ගමට


අලුයම ම
හන්දියට
හුළුඅත්ත පත්තුකරගෙන ආවේ නුඹ
දිය යටින් හෙම නොවේ
ගමේගොඩේ අඩිපාර දිගේ
ඇවිදගෙන ම මිස


ඒ ආවා මිස නුඹ
ගිය වගක්
නැතිය අප දැනගෙන උන්නේ
කිසිවිට


අනේ ආයෙත් දවසක
එන්ට මාමා හන්දියට
දැළිපිහා, කතුරු නොව
මේ මගේ දරුවන්ටත්
පුන්චි සීනි බෝලයක් අරගෙන

Sunday, June 26, 2011

27. වීදි දරුවාගේ කවිය

යකඩ දඬු අත්වලින්
කුසට
කම්බි ඇණ අනිද්දී වුව
මා වැදූ අම්මා
නුඹය

පියයුරු කපා දැමූ කල
විස්කෝතු කව කවා
මා රැක්ක අම්මා
නුඹය

පව් නොකළ වුන්
ගල් ගසන කල මට
ඉදිරියට පැන
ඇටකෝටු ළය පෑව අම්මා
නුඹය.

මදුරුවන්
ඇල්පෙනිති විදින කල
මගේ සිරුරට
වස්ත්‍රයක් වගේ
මා වෙලාගත් අම්මා
නුඹය

රැකියාවක් 
පිඬු සිඟ සිඟා ගිය දාක
බොර දිය ම මුසු
පිළුණු බත් ලැබුණෙන්
සරීරේ මස් කප කපා
විකුණා
අනේ උණු බත් පැකැට්ටුව
මට ගෙනා අම්මා
නුඹය

මුඩුක්කුව කෙලවරේ
ඉස්කෝලෙට යන්ට
මට නැවුම් වස්ත්‍ර ඇරන් දී
දියවෙලා ගිය ඇඳුම හැඳ
නිරුවතින් හිටි අම්මා
නුඹය

සුනාපරන්තේ
වේරන්ජනා වීදියේ
මහා බිල්ඩිමට පිටදී
තුන්කාලයේ ම වැඩහිඳින
මගේ රත්තරන් අම්මා නුඹය !

26. ‎කිරි අත්තා


බුදුන් වඳින කොට
මල් වට්ටියක් වගේ හැමදාම
මතක් වෙයි.

බුලත් කොරටුවක් වගේ
තවමත් සිහිලසයි.

වංගෙඩියේ
විටක් කොටන කොට
නාඩි වැටෙන හඬ ඈතට ම ඇහෙයි.

හවසට
අත පුරා කිරි පැණි අරගෙන
ගෙදරට ගොඩවෙයි.
ආකාස කඩදාසියේ
වටකුරුවට රන් පිඟාන අඳියි.
හා පැටියා විතරක් නෙවෙයි
ඒ මැද්දෙ
අපි හැමෝමත් හිඳියි.

උදයේ ම 
ඉතිරී යන වැවක් වෙලා
අපේ මුහුණු සෝදයි. 
අඩිපාර දිගට ම
නුග ගස් යායක් වෙලා
ඉස්කෝලෙ යන බටිති පැටවුන්ට
අත්දෙකෙන් පවන් සලයි.

දහවලට
පැණි දොඩම් ගසක් වෙලා
නංගිටයි මටයි
ගෙඩි සේරම දෙයි.

බාලාංශ පන්තිය වගේ
ඔඩොක්කුවේ තුරුළු කරගෙන රෑට
හෝඩි පොතේ අකුරු
අහසින් නෙළා දෙයි.

ඉඩෝරෙ දා දවසක්
අඳ කුඹුරේ හැම තැනකම
ණය තුරුස් වංගෙඩි කකුල් තිබුණා.
කිරි ඇත්තා
නුඹ ඒ මැද වැතිරී සිටියා
පපුව පැළී
මහවැලි ගංගාව ම ගැලුවා දැක්කා.
ඒ ගඟේ ඈතට ම
කිරි මුට්ටිය පා වුණා.
ඊට උඩින්
කොක්කු විතරක් ඉගිළුණා.

25. මල



පිපී ඇත
සුදු පාටට
එක ම එක මලක්
මහපොළොවෙ තෙත පපුව මත


බුදු පාමුල වැඳවැටී
ප්‍රජාපතිය සේ
අරහත් වෙන්ට
නුඹ නෙළාගෙන යන්නේ නැතුවා ද
කවුරුත් ම දෙව්රමට.


ඉගිළී ඇවිත් සමනළයෙක්
මුව මඩල ඉඹ බැලුවේ නැතුවා ද
සාලිය සේ ආදරයෙන්


හැමෝටම අමතක
කුරාකුහුඹීන්ට
අව්වට
වැස්සට
මුතුකුඩය ඉහලුවේ නුඹය
සාස්තෲවරයෙකු සේ
එකපයින්


එක වේලක
තලුමරන ව්‍යන්ජනයකට
බෑ නොකියා ම
දිවි පුදන්නේ නුඹය
මැද්දුම බණ්ඩාර සේ
එඩිතර ව


මේ අහපන් මගෙ බිම්මල
හිස ඔසවා
උඹයි මගේ පරසතු මල
පෘථීවියේ පතුලින් ම ගෙල යොමා ඉපදුණ
පරනොවන සුවඳකින්
මගේ පපුව හෝදලා දමන

24. මගේ බිරිඳ



අවදි වී හිරුට පෙර
මුළුතැන්ගෙට නොවේ
ලන්කාවට ම එළිය හෙලන්නී


සුළි සුළන් පිඹ
අවුළුවා දර ලිප
දර කෝටු අත් දෙකෙන්
සෙනෙහසේ බත පිසින්නී
පාසල් යන දරුවන්ට
කටින් කට ජීවිතය කවන්නී


ආසියාවේ
පරණ සිතියමක් සදිසි සරීරේ
හිඳුණු ගන්ගා
යකඩ කරාමෙන් එන සිසිලසින්
පුරවගන්නී.
ගිනි ගන්න මගෙ පපුව,
කැඩීගිය දකුණු අත
අතගගා අතගගා 
වැලි පොළොවේ ම ගලාගෙන යන්නී


වයර්ලසය හොට ඇර
ගයන කුරුළු සෙත් කවි අහගෙන ම
ළිඳට ගොස්
ලුණු රසැති උල්පතින් වතුර ගෙන
කහට ඇඳුම් සේරම
දියවෙලා යන පින්සලෙන් ඔප දමන්නී.


කාලයට කළු ගැහුණු
කොපුල්තල මිටියාවත මත
පුයර මල් රේණු උළාගන්නී
සමනළුන් ඉගිළෙන
ඔසරියට මුවාවී
ඉරේ සැර හීවලින්
බේරෙමින් බේරෙමින්
ත්‍රීවීලරයක් සේ ම
පොඩි ඉඩෙන් කාලය විදගෙන
කන්තෝරුවට දුවන්නී


පන්ච කල්‍යානය
ටිකෙන් ටික නටඹුන් ව යයි
ලේන්සුවේ
තණ පත් අග
ඩහදිය බින්දුවක් රඳවයි


කන්තෝරුවේ මල් ගහක් යටට වී
මුව අයා
හැමෝටම සිරියාවෙ පෙති විදාගයි


ස්නායු
මේ තරම් පිරිමදින්නී
සන්සාරයේ
අපේ තනි රකින්නී
කෝච්චියේ හිරවෙමින්
ජීවිතය ඔසවාගෙන දෝතින්ම
හවස පහන් පැලට ගොඩවැදෙන්නී


යසෝදරා
මා ළඟ ම නැවතිලා තව මොහොතකට
මේ අහන්න
නුඹ මිස
මා පිරූ පාරමිතාවක් නම් නැත මෙලොව ! 

23. ස්වර්ණමාලීට

 
ස්වර්ණමාලී
මේ බත් ගහට
එන්න.

ලෝකයේ 
ගොඩක් උන්
තුන් වේල ම
උඩ බලන් ඉන්න බව
දන්නෙ මේ ගසය
රහත් හිමි නමක් සේ.

තිස්තුන් කෝටියක්
මුල් යොමා
මහපොළොවෙ දුක් කරදර
උරාගෙන
අපෙත් එක්ක ම වැඩුණෙ
මේ ගසය.

බලන්
අරටුව පළාගෙන මතු ව එන
සෙනෙහස
කොස් ලෙසින් කුසට වැද
ආමාශය 
පිරිමදින.

රාක්ෂයෙක් වී හිරු
රවාගෙන ඉන්න කොට
ගින්දර අත් දහස විහිදුවා
තහඩු වහලයට ඉහළින්
අම්මා වගේ සෙවණ දෙන්නේ
මේ ගසය
තුරුළු කරගෙන
මෛත්‍රියේ හෙවණැල්ලට.

කුලිය නිම වී ගෙදර ආ
අප්පච්චී වගේ
ගේ දොරකඩ හිටගෙන
පොඩි උන්ට
වරකා ලොසින්ජර දෙන්නේත්
මේ ගසය
දෝතින් ම වඩාගෙන.

ස්වර්ණමාලි
අපේ බත් ගහට
එන්න.
මේ තරම් වාසයට
සුදුසු වෙන අන් රුකක්
තියෙන්නේ කොතනක ද
මට කියා දෙන්න.

මේ බත් ගස
ඉතින් මහා වෙහෙරකි
මේ අපට !

22. ලිපිකරුවා



මේ මහා පෙරහැරය
පඩි දාට පසු දා ම
කරඬුව බිම වැටුණ !


දැනේ
හෘදස්පන්දන බෙර හඬෙහි
අපිළිවෙළ


හිස වැදී
හිස් අල්මාරියේ
පෙනෙයි සේසත්, කොඩි


සිහිනයෙන් කොතෙක් කෑවත්
රසමසවුළු
බඩ පිරෙන්නේ නැති හෙයින්
කස පුපුරයි
කුස තුළ


කලිසමේ
ඉරුණු තැන් දැක
රබන් කරකවති
දඟකාර කොලුකුරුට්ටෝ
මඟ දිගට


තාත්තගේ අසනීපය
පපුව මත නටයි දහඅට වන්නම.


ටිකෙන් ටික කුටුම්බය බඳින්නට
ගඩොළු ගෙනයන කල එලුණු
ගිනි පොලී පාවාඩ
බොහො සුදුය, පවිත්‍රය.
සිල්ලර කඩ ණය පොතේ
මල් වියන
අව්වට දඹ රන් පාටය.


එළවළු මිල ගණන් අහන කල
පෑගී
අලි කකුල් ඉලක්කම්වලට
හදවතේ භාගයක්
පොඩිවිණ


හිසේ ගින්දර
යකඩ පන්දමේ අග ඇවිලිණ


හිතේ වීරියෙන් අපට
සේද මාවතක් කපන්නට තනන
වහන්වෙලා ලිප්ගලකට
හොරෙන් ඉලඇට අතගගා
දුක් කරදර ගනින
මගේ ආදර බිරිඳ නුඹ
දියවඩන නිළමේය
අනාගතය කුසින් අරගත්


මට හුස්ම පොද පිඹින
මගේ පුන්චි දරුවනේ ඉතින්
පෙරහැර බලබලා කන්ට
ලොසින්ජර පළු කුමකට ද
අපි ඔක්කෝට ම
ලබන මාසේ පඩි දාට
බුදුවෙනට පුලුවන්ය එකට ම !

21. කොහු මෝලේ සහෝදරීට ආධුනික කවියා ලියූ වචන



පල් වතුර පොකුණෙහි
පිපි නෙළුම් මල නුඹ
මදුරුවන් රොන් උරන !


පොල් ලෙලි මතට
වැරෙන් දෙන පහරින
කුඩු ව දහවල් සිහිනය
ඇහැරුණිය මගෙ සිත


දුටිමි නුඹේ අත්ල මම.
කරගැට කඳුවලින්
පටන් ගෙන
දස දෙසට ගලාගෙන යන නිම්න
සිඳී ඇත
මේ ආකහේ තව ම
වැහිවලා නැති බැවින.


නුඹේ 
එක ම පියයුරෙහි
කැටිගැසුණු ලේ
පාර දිගට ම වැලි ලෙසින්
ඉහිරිලාය.
හිමාලයටත් වඩා ලොකුවට
සෙනෙහස තිබුණාට ම 
උතුම් මව්කිරි තැනෙන්ණේ නැති හෙයින්
පෙති අතර ගුලි වෙලා
සමනළුන් හඬන හඬ
ඇසෙයි මටත්
අත ළඟ ම


තුටු වෙන්ට
විඳින දුක් එකතු කොට
සඳැස් කවියක බහා
ගයන්නට නොදන්නෙමි නට නටා තාලයට
රළුපරළු ගල් බිතක
කුරුටු කවි ලියනු මිස


හිස මුදුනේ ම
මලක් පිපෙන මතු දිනෙක
දෝතින් ම පැණි පොවමි
මම උන්ට
ලොකු ම කව එය බැවින !  

20. ආයම්මා



පුන් සඳ සේ ම වටකුරු
මඩක්කුවෙන්
දුක සැප වලඳන
ආයම්මා


බේබි උකුලේ ඉන්න කොට
ගමේ සිට
දරුවන් ඇවිත් හීනෙන්
බදාගෙන ළයමඩල
සිප ගනියි හෘදවස්තුව
සියලු රුධිරය
මව්කිරි බවට පත් කර


මුළුතැන්ගේ
මිටි කොළොම්බුවේ
ඈඳිගෙන ඉන්න කොට
නුඹ
කෝම්පිට්ටුවක් වෙයි
මුව පැටියා
කිරි දතෙන් හපන කොට සෙමින්
ආදරෙන් ගස්කොලන් සෙලවෙයි.


හාපැටියා
කිරිපිටි අහරටගෙන 
අහවර වුණ පසු
නුඹ
කෝච්චි පෙට්ටියක් වෙයි
පුටු මේසවල නොහැප්පී
පීලි මත ම
පදවනා කල
පිටකොන්දේ රුජාව
යාන්තමට අමතක වෙයි


අලුත් විහාරෙට උඩින්
වටකුරු සඳ පේන කොට
ගමට යා යුතුයි
පොත් පැන්සල් සමග
ජීවිතය මිලට නෙළාගත යුතුයි


පඩි දාට
ආයම්මගේ හිත
ආයකට්ටෙන් පහුරු ගාන කොට
පිත්තල පෝච්චියේ
ප්ලාස්ටික් මලක් නම් හිනාවෙයි 

19. පුන්චි දුව



ගහක් යට නැවතිලා
දොඩම් ගෙඩියක් අහුලගෙන
පෘථිවියේ හැඩ රුව බලන්නී.


වක්කඩේ ළඟ
ඈඳිගෙන
ගලාගෙන යන සතුටට
සෙමින් රහසක් කියන්නී.


ගේ ළඟින්
බඩුමළු උස්සාගෙන
සිරීපාදෙට පයින් යන
පුන්චි සමනළුන් දෙස බලා හිඳ
මහන්සි දැයි අසන්නී.


සියොලඟ ම දූලි ගාගෙන
වැලි ගොඩේ බත් උයන
යහළු යෙහෙළියන් ළඟට
අත් දෙකෙන් ගෙනියන්ට
පොතෙත් නැති
පතෙත් නැති
අලුත් සෙල්ලමක් ගැන හිතන්නී.


මල් ගහක් ළඟ 
ඔහේ හිටගෙන
පුන්චි අත් දෙකෙන් අම්මාට
පරනොවන මලක් හොයන්නී.


ඩහදිය වරුෂාවට
තෙමිලා ඇවිත්
පිට්ටනියේ පිල මත වාඩි වුණ
අයියා ළඟින් හිටගෙන
ගහක් සේ අත් විදා
හෙවණ දැයි අසන්නී.


ලෝක ගෝලය මම
වැඩ ඇරී ඇවිත්
රැ දෙගොඩ හරියේ
උඹේ පොත් මේසෙ මැද ගුලි වුණ.
සඳක් වගේ මා වටේ
කැරකෙන්නීය දුව නුඹ
ප්ලාස්ටික් භූමිය හැමදා ම මෙලෙක් කර කර


මගේ පුන්චි තණකොළපෙත්තී
මේ තරම් සතර පෙර නිමිති
දකින්නී නුඹ
කියන් කිවිඳියක් වෙන්ටවද ?
පිරිත් පැන් ඉස
හිඳුණු සාගර ගන්ගා
ආදරෙන් පුරවන