Saturday, June 25, 2011

9. වද


දැහැමිපුර
මස්මඩුව ළඟ
දිවිගෙවන වද ගස
ගරා වැටුණ පන්සලක් වගේ
තනි වුණ !

වීසි වෙන 
උණු ලේ වැදී
රතු පාට වී වෙව්ලන
මල් කැකුළු
උකුල පුරා හොවාගෙන
මව් කිරි පොවයි නුඹ
උණුහුම දෙන්ට.

මඩුවේ ටකරන් හිසට ඉහළින්
නෙත් ඔසවා
දේදුනු පාට මිස
දේවාලයේ
දෙවියෙකු වැඩ සිටී දැයි
බලයි නුඹ.

ගින්දර පාට
මහපොළොව මත
බෙලි කැපී සැතපෙන
කරගැට ම පිරුණු
අම්මාවරුන්ගේ පියවරුන්ගේ
වේදනාවේ හඬ
පපුව පතුලේ වැදී
ඩහදියෙන් නැහැවෙලාය
හොඳටෝ ම නුඹේ ගත
හිරු පිපෙන
මේ නැවුම් උදෑසන !

උතුම් මෙපුර 
නුඹ මැ පමණක්
අරටුව පළාගෙන උපන්
සිතුවිලි
මල් පොකුරු ලෙස
එකින් එක ගෙන තබයි
මස්මඩුව පාමුල
දණ බිම නමාගෙන.
ඒ උතුම් මව් පියවරුන්
නමදින්ට.

ඉතින් වද ගස
ඇවිත්
අම්මා තාත්තා සමග මම අද ම
බලාගෙන හිඳිමි සත්සතියක්
ඇසිපිය නොහෙලා ම
නුඹ දෙස !


No comments:

Post a Comment