Saturday, June 25, 2011

12. ‎කතාන්දරයක්


කැපූ කැපූ තැනින්
කිරි ඉනූ 
අම්මාගේ සෙවණෙහි වැඩුනාය.
කප්රුකේ දල්ලට ම නැග
කුරුම්බා කැඩූ තාත්තා
හපුතලේ නගින කල
කියූ කවි ගීත අසාගෙන සිටියාය.

නල ළිඳ හොලවලා හොලවලා
බොර වතුර ඇහින්දාය.

දර ලිපේ
දුම් කසී සළුව
ඇන්දාය.
ඉටි කොලෙන්
ෆැක්ටේරියට ම 
ආදරේ බත එතුවාය.

අචිරවතී ගඟ අසබඩ
වැඩ බිමට ආවාය.
බෝඩිමේ 
යකඩ කම්බි අතරින්
අනන්තය දෙස
බලාගෙන සිටියාය.
හිත උණුවෙන පඩි දාට
නංගීට 
මල්ලීට
පලවැල මිටක් මිලට නෙළාගෙන
නොවරදවා ම ගමට ඉගිළුනාය.

ගමේ පොඩි පැටව් දුන්
කෝම්පිට්ටු බත් පිඟාන
බෑ නොකියා ම 
නතර වී කෑවාය. 

යකඩ මැසිමේ
රදනක දත්වලට හසු වී
දකුණු අත කැඩුන දා
රැකියාව උකුස්සෝ ගෙන ගියා.
ලෝදිය ගංවතුර ගලන
ගංගාවට ඇද වැටී
සර්ප දූපතට ගසාගෙන ගියා.
රන් සලඹ 
හොරු කඩා ගත්තා.

අතරමන් වූ දා
සංසාර මූකලානේ
ඇය නෙවෙයි පඬිරටට ගිනි තිබ්බෙ.
මහා නගරයේ
මුඩු ඉඩම ළඟ නැවතුණාය.
රාත්‍රියේ
සරීරය කට්ටිකර විකිණුවාය.

මව්පියන් කරමත තබාගෙන
සංසාර සාගරේ පීනුවාය.

ඉතින් මගේ සොයුරිය
අම්මා කෙනෙක් වගේ 
වරෙන් මන් ළඟට.
ඇවිදින් කියාපන් මට
"
කිම්ද නුඹ
විවරණ නොපතන්ට කාරණ ?"

No comments:

Post a Comment