Monday, June 27, 2011

34. දුෂ්කර සේවේ නිමා වී අලුත් ඉස්කෝලෙකට යන අපේ ගුරුතුමීට



බොර ඇළෙන්
යටිපතුල් දොවා ගත්තා
වලාකුළු ඇටසැකිලි ඈත්කර කර නුඹ
කන්ද උඩින් එබී
පෘථිවිය දිහා බැලුවා.
හැමදාම
අපේ පොල් අතු ඉස්කෝලෙ දැක්කා


කටුඉඹුල් පතොක් ගස් පීර පීරා
කරත්ත පාර දිගේ ඇවිදගෙන ඇවිත්
ආයෙමත් එක මොහොතක
අපේ පුන්චි ගම්මානෙට ගොඩවෙන්න මිස්.


ඇවිත් නියඟය
හෙණ්ඩුවෙන් අනින කොට නිලවලට
පැන ඇවිත් පිපාසය
ලේස් පටියෙන් බෙල්ල මිරිකයි.
කිරි දුන්නෙ මේ අපට
නුඹ තමයි මිස් එතකොට


කළුලෑල්ල පුරාම
සුදු පාට රටහුණු මල් පිපුණාම
ඒ මල්වලට සුවඳ ලැබෙන්නේ
පාසලේ පොඩි ළමුන්ගෙන්ය කීවේ
නුඹයි මිස්


අවසන් සීනුව
වැදුණු පසු
නළ ළිඳක් වෙලා
හදවතේ පතුලින්ම වතුර ඇද ඇද
ශිෂ්‍යත්ව පන්තියේ පාත්තියට
හැමදාම ඉස්සේ නුඹයි මිස්


විවේක වෙලාවට
බඩගින්න
බුරුම කට්ටෙන් කුසපොත්ත හිල් කරන
ළමුන් පෙනුණේ
නුඹට විතරද මිස් ?
බත් පතින් ත්‍රීපෝෂ අරගෙන
කටින් කට අපට කැව්වේ නුඹයි මිස්.


දවසක්
ඉස්කෝලෙ කිරි ගහේ
පාත අත්තක
ගමට ම පනා මලක් පිපුණා
සමනළුන් කෝටියක්
ඉගිළුණා නුඹෙ සිතේ
ඒක අපි දැක්ක මිස්


අලුත් සාරි පොටින්
අපේ කඳුළු පිහදැම්ම ගුරුතුමී
ඇයි මහා වැස්සක්
ඔය ඇහේ අද
මේ බලන්ට
අපි ඔක්කෝම
දහයෙන් එකොළහට පාස් වුණා මිස්
කොයි සල්පිළෙන් නෙළා ගත්තාද 
මේ තරම් පලතුරු අපට


දිවි පොතේ තව පිටක්
ගැලවිලා බිම වැටුණා තමයි.
කළු ලෑල්ලේ තෙත වලාකුළු ඇන්ඳ අත
අනේ අපට පෙන්නන්ට මිස්
ඒදණ්ඩෙන් එගොඩ වෙලා
දුර ඈත අලුත් ඉස්කෝලෙට යන කොට
ඒ අතින් මේ කවිය
තනියට ගෙනියන්ට මිස්.

13 comments:

  1. පාසල් කාලෙ සුන්දර මතක සිහියට නැගුන.

    ReplyDelete
  2. හිතට එන හැඟීම් අකුරු කොටන්න මට කාලයක් නැතිවීම දුකක්..වචනයෙන් වචනය විඳින්න බැරි තරමට මං දැන් අවිවේකියි. එක් වතාවකුත් මේ ගුරුවරී පාසැල් සේවයට ආපු එක ගැන ලියාපු කවිය මගේ හිතේ තවමත් හොල්මන් කරනවා. දැන් ඒ ගුරුතුමී යවනවා ආපහු. මේ අත්දැකීම් වලට සමීපවෙන්න මට පුළුවන් වෙන්නේ මාද දුෂ්කර පලාතක ගුරුවරයෙක් වෙලා සිටි නිසා.

    සමිත සමිතටම ආවේනික වූ කවි කලාවක් ඇත්තෙක්. ඔබේ කවි අනික් කවි අතරින් කැපී පෙනෙන්නේ ඒ නිසා. මෙය විශිෂ්ටයි නොකියා මා වෙන මොනවද කියන්නේ ? මේ මුද්‍රාව ඔබේ. ඒක නොමැකෙන එකක්. ඔබට සුබ පතනවා.

    ReplyDelete
  3. මට මේ කවිය කියෙව්වාම මතක් උනේ ටික කාලෙකට කලින් රූපවාහිනියෙන් මා දුටු ටෙලි නාට්‍යයක්..ඒත් මට නම නම් මතක නෑ..
    ඇත්තටම දුෂ්කර සේවයට පිටත්ව යන ගුරුවරුන් ඒ පලාත්වල දරු දැරියන්ට සලසන සේවය කියලා නිම කරන්න බැරි තරම් ...
    ඒ දරුවන්ගේ ඇත්තම හැඟීම ඔබ නිර්ව්‍යාජව සටහන් කරලා තියනවා..
    මගේ සුභ පැතුම්..!!

    ReplyDelete
  4. ඇත්තටම මාර ලස්සනයි අයියා හිතට වදින්නම ලියලා තියනවා...

    ReplyDelete
  5. ලස්සන කවි අදහසක්.

    ReplyDelete
  6. හරිම ලස්සන කවියක්

    ReplyDelete
  7. මේක නම් නියමයි. මුඵ හදවතටම දැනී වෙව්ලුම් කන විදියේ රචනාවක්..

    ReplyDelete
  8. අපූරු කවි පන්තිය කරුණාවන්ත ගුරුවරියකට ළමයින් සම්පතක්. ළමයින්ට ගුරුවරිය සම්පතක්.සමනලුන් කෝටියක් ඉගිලුනා නුඹෙ හිතේ අපූරුයි සමිත ඔබේ ඊළග පොත එනතුරු මග බලා සිටිනවා....ජය..

    ReplyDelete
  9. දෙතුන් පාරක් කියවන්න හිතෙන දුර්වල කවි පන්තියක් ඇත්තටම ලස්සනයි.

    ReplyDelete
  10. අද තමයි අයියගේ බ්ලොග් එක දැක්කේ
    අපි හැමකෙනාගෙම හිත්වල කව්රුම හරි ගුරුවරයෙක් ඉන්නවා
    මල් පහන් තියලා හැමදාම නමදින
    මගේ හිතේ ඉන්න ගුරුතුමිව මතක් කරගෙන විදින්න පුළුවන් කව්යක් අයියා ලියලා තියෙන්නේ
    ලස්සනයි දුක්බරයි

    ReplyDelete
  11. සමිත්ගේ මම දකින සුවිශේෂත්වය ඔබේ නැවුම් උපමා යෙදීම.. අපුරු ගැලපීම් එක්ක හැගීම් බර වචන ...ඒ අපුර්වත්වය මේ ගුරුතුමි ගැනත් දුෂ්කර පාසලේ අහිංසක පුංචි එවුන ගැනත් ආදරයක් හිතෙනවා...

    ReplyDelete