Sunday, June 26, 2011

23. ස්වර්ණමාලීට

 
ස්වර්ණමාලී
මේ බත් ගහට
එන්න.

ලෝකයේ 
ගොඩක් උන්
තුන් වේල ම
උඩ බලන් ඉන්න බව
දන්නෙ මේ ගසය
රහත් හිමි නමක් සේ.

තිස්තුන් කෝටියක්
මුල් යොමා
මහපොළොවෙ දුක් කරදර
උරාගෙන
අපෙත් එක්ක ම වැඩුණෙ
මේ ගසය.

බලන්
අරටුව පළාගෙන මතු ව එන
සෙනෙහස
කොස් ලෙසින් කුසට වැද
ආමාශය 
පිරිමදින.

රාක්ෂයෙක් වී හිරු
රවාගෙන ඉන්න කොට
ගින්දර අත් දහස විහිදුවා
තහඩු වහලයට ඉහළින්
අම්මා වගේ සෙවණ දෙන්නේ
මේ ගසය
තුරුළු කරගෙන
මෛත්‍රියේ හෙවණැල්ලට.

කුලිය නිම වී ගෙදර ආ
අප්පච්චී වගේ
ගේ දොරකඩ හිටගෙන
පොඩි උන්ට
වරකා ලොසින්ජර දෙන්නේත්
මේ ගසය
දෝතින් ම වඩාගෙන.

ස්වර්ණමාලි
අපේ බත් ගහට
එන්න.
මේ තරම් වාසයට
සුදුසු වෙන අන් රුකක්
තියෙන්නේ කොතනක ද
මට කියා දෙන්න.

මේ බත් ගස
ඉතින් මහා වෙහෙරකි
මේ අපට !

No comments:

Post a Comment