Friday, June 24, 2011

2. දුෂ්කර පළාතේ සේවයට ආ අපේ අලුත් ගුරුතූමීට !


ඕලු මල් පිපුණ සාරියෙන් 
හැඩවෙලා
හිඳුණු වැව ළඟ වැඩහිඳින්නී.

ඩහදිය විලවුන්
තවරගෙන
දුහුවිලි කොකුම් උළාගෙන
බොරළු පාර දිගේ
ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන ඇවිත්
මන්දපෝෂිත ඉස්කෝලයට
ගොඩ වැදෙන්නී.

වද කොස් ගහ යට පන්තියේ
මැලේරියා උණ හැදුන අපට
හැන්දෙන් හැන්ද අකුරු පොවන්නී.
ලෝක සිතියමේ
කටුකම්බි වැටෙන් මායිම් වුණ
මේ ඉඩෝර බිමට ඉහළින්
කළුලෑල්ලේ
වැහි වලාකුළක් අඳින්නී.
කම්කටළු කටු පඳුරු මත
සිරි පතුල් තබාගෙන
දෑත් තාලම්පොටින්
අමතක නොවන තාලය තබන්නී.
අලුත් කවියක් වෙලා
පරඬැල් පෙළපොතේ හිනැහෙන්නී.

විවේක කාලයේ දී
ගුරු පුටුවේ වාඩිවෙයි.
දිගු නියෙන්
රොටී ගෙඩියේ මලකඩ ගලවගෙන
මුතු දෙපොලින්
හිමිහිමින් හපයි.

මේ අමාවකේ
පුන්සඳක් වී අහස පුරා පායන්ට
අප හැවොම වඩාගෙන නුඹ
අලියා නොයන මග දිගේ ම
ඉහළට නගියි.

ගුරුතුමී
ඔය අලුත් සාරි පොටේ සෙවණැල්ල
ඉස්කෝල වත්තේ බිම පුරා ම
හැමදා ම එලී තියෙයි.
ඔන්න කටුකම්බි මල් වැලෙත්
සතුටක් පිපීගෙන එයි !

1 comment:

  1. මම පළමුවෙන් දැක්කේ ගුරුතුමි ආපහු යන කිවිය වුනත් ඇය ගමට ආවේ පැටවුන්ට මොනතරම් සහනයක් අරන්ද යන්න මේ කවියෙන් දැක්කා. මේ කවියෙත් වෙනස්ම විදිහක යෙදුම් වලින් අපුරු බවක්.. ආලෝකයක් එක් කරලා කරලා තියෙනවා.. ඔබට‍ මේ යෙදුම් නිරායාසයෙන් වටපිටාවෙන් ලැබෙනවා යයි මට හිතෙනවා..

    ReplyDelete