Friday, June 24, 2011

6. තොරණ !



හිස වටා විදුලි තරු
මරඟනන් සේ නටන කොට නොනැවතී
හරී වෙහෙසයි ආනන්ද.
පය පාමුල පින් කැටේ
සර්පයින් දරණ ලා සිටියි ආනන්ද.

පිපාසයි ආනන්ද
තෙහෙට්ටුයි ආනන්ද

බුදුවරයෙක් නම්
මේ වගේ
මුඩුක්කුවට පිටුපා සිට නොගනියි.
මහාමේරුව වගේ
එක තැන ම රැඳී නොසිටියි.
දහවල
ටකරන් තහඩු යටට වී
හීන හත දැක දැක
තලු මරමරා නිදා නොගනියි.
රොටී කබලක් වගේ කරවුණ
ගම් නියන්ගම් පුරා
පිරිනිවන් පාන තෙක් ම ඇවිදියි.
වැවෙන් මෘදු වචන නෙළාගෙන ගිහින්
තුන් ලෝකයට ම අම්මා වෙයි.

මතකද
මහා කළු ගලක් පෙරලුවා වුව
බුදු හිමියන්
පිරිනිවන් පෑවේ නම් නැත.
ආනන්ද
මීට පෙර අසා තිබේ ද නුඹ
විදුලි සැර වැදී
පිරිනිවන් පෑ බුදු කෙනෙක් ගැන !

No comments:

Post a Comment