Sunday, June 26, 2011

24. මගේ බිරිඳ



අවදි වී හිරුට පෙර
මුළුතැන්ගෙට නොවේ
ලන්කාවට ම එළිය හෙලන්නී


සුළි සුළන් පිඹ
අවුළුවා දර ලිප
දර කෝටු අත් දෙකෙන්
සෙනෙහසේ බත පිසින්නී
පාසල් යන දරුවන්ට
කටින් කට ජීවිතය කවන්නී


ආසියාවේ
පරණ සිතියමක් සදිසි සරීරේ
හිඳුණු ගන්ගා
යකඩ කරාමෙන් එන සිසිලසින්
පුරවගන්නී.
ගිනි ගන්න මගෙ පපුව,
කැඩීගිය දකුණු අත
අතගගා අතගගා 
වැලි පොළොවේ ම ගලාගෙන යන්නී


වයර්ලසය හොට ඇර
ගයන කුරුළු සෙත් කවි අහගෙන ම
ළිඳට ගොස්
ලුණු රසැති උල්පතින් වතුර ගෙන
කහට ඇඳුම් සේරම
දියවෙලා යන පින්සලෙන් ඔප දමන්නී.


කාලයට කළු ගැහුණු
කොපුල්තල මිටියාවත මත
පුයර මල් රේණු උළාගන්නී
සමනළුන් ඉගිළෙන
ඔසරියට මුවාවී
ඉරේ සැර හීවලින්
බේරෙමින් බේරෙමින්
ත්‍රීවීලරයක් සේ ම
පොඩි ඉඩෙන් කාලය විදගෙන
කන්තෝරුවට දුවන්නී


පන්ච කල්‍යානය
ටිකෙන් ටික නටඹුන් ව යයි
ලේන්සුවේ
තණ පත් අග
ඩහදිය බින්දුවක් රඳවයි


කන්තෝරුවේ මල් ගහක් යටට වී
මුව අයා
හැමෝටම සිරියාවෙ පෙති විදාගයි


ස්නායු
මේ තරම් පිරිමදින්නී
සන්සාරයේ
අපේ තනි රකින්නී
කෝච්චියේ හිරවෙමින්
ජීවිතය ඔසවාගෙන දෝතින්ම
හවස පහන් පැලට ගොඩවැදෙන්නී


යසෝදරා
මා ළඟ ම නැවතිලා තව මොහොතකට
මේ අහන්න
නුඹ මිස
මා පිරූ පාරමිතාවක් නම් නැත මෙලොව ! 

1 comment:

  1. කවි පිටුවක් නම් ගොඩ නොවී ඉන්නට බැරි සංසාර පුරුද්ද නිසා මේ පැත්තට ආවේ වැඩ ගොඩක් තියෙද්දී. ආ එක පාඩුවක් නොවන බව පෙනුන . ඔබේ කවි වල මොකක්ද වෙනසක් තියෙනවා . ඒ වගේම සරලයි. හිමිහිට කියවල අනික කවි ත් රස විඳින්නම්. අපේ කට්ටියක් කවි ලියන පිටුවකුත් තියෙනවා මේ දවස්වල කාර්මික දෝෂයක් . ඇඩ්මින් මල්ලි අධ්‍යාපන වැඩ වලට හිර වෙලා . එයා ආ ගමන් ඔබටත් එක වෙන්න ආරාධනාවක් කරන්නම් . මේ කවි පෙළ ගැන කියනවා නම් සුලබ තේමාවක් වුනත් හදට දැනෙන ලෙස ලියල තියෙනවා . සුලිසුලන් ..ආසියාවේ පරණ සිතියම ..හරි ලස්සන උපමා . වරදක් නෙවේ මන් දැක්ක දෙයක් කිව්වට කමක් නැහැ කියල හිතෙනවා . සමහර දේවල් ඕනවට වඩා විස්තර කරන්න ගිහින් රිද්මය බිඳුණු තැන් කීපයක් දැක්ක .
    ''සුළි සුලන් පිඹ
    අවුළුවා දර ලිප
    සෙනෙහසේ බත පිසින්නී
    ...මෙතනට පාසල් යන දරුවන් වෙනුවට ''දරුවන්ට '' කටින් කට ජීවිතය කවන්නී ..වුනා නම් රිද්මය හොඳින් රැකෙනවා . අනේ මන් එහෙම කිව්වට වෙනස් කරන්න යන්න එපා . එක එක්කෙනා රිද්මය දකින විදිහ වෙනස් . විවේචනයක් හෙම නෙමේ හොඳේ . මේ වගේ පණ්ඩිත වැඩ කීපයක් කරන්න ගිහින් අහක යන තොප්පි දා ගත්ත පහු ගිය දවසක . ඔන්න තරහ වෙන්න නම් එපා .

    ReplyDelete