Sunday, June 26, 2011

22. ලිපිකරුවා



මේ මහා පෙරහැරය
පඩි දාට පසු දා ම
කරඬුව බිම වැටුණ !


දැනේ
හෘදස්පන්දන බෙර හඬෙහි
අපිළිවෙළ


හිස වැදී
හිස් අල්මාරියේ
පෙනෙයි සේසත්, කොඩි


සිහිනයෙන් කොතෙක් කෑවත්
රසමසවුළු
බඩ පිරෙන්නේ නැති හෙයින්
කස පුපුරයි
කුස තුළ


කලිසමේ
ඉරුණු තැන් දැක
රබන් කරකවති
දඟකාර කොලුකුරුට්ටෝ
මඟ දිගට


තාත්තගේ අසනීපය
පපුව මත නටයි දහඅට වන්නම.


ටිකෙන් ටික කුටුම්බය බඳින්නට
ගඩොළු ගෙනයන කල එලුණු
ගිනි පොලී පාවාඩ
බොහො සුදුය, පවිත්‍රය.
සිල්ලර කඩ ණය පොතේ
මල් වියන
අව්වට දඹ රන් පාටය.


එළවළු මිල ගණන් අහන කල
පෑගී
අලි කකුල් ඉලක්කම්වලට
හදවතේ භාගයක්
පොඩිවිණ


හිසේ ගින්දර
යකඩ පන්දමේ අග ඇවිලිණ


හිතේ වීරියෙන් අපට
සේද මාවතක් කපන්නට තනන
වහන්වෙලා ලිප්ගලකට
හොරෙන් ඉලඇට අතගගා
දුක් කරදර ගනින
මගේ ආදර බිරිඳ නුඹ
දියවඩන නිළමේය
අනාගතය කුසින් අරගත්


මට හුස්ම පොද පිඹින
මගේ පුන්චි දරුවනේ ඉතින්
පෙරහැර බලබලා කන්ට
ලොසින්ජර පළු කුමකට ද
අපි ඔක්කෝට ම
ලබන මාසේ පඩි දාට
බුදුවෙනට පුලුවන්ය එකට ම !

1 comment:

  1. රජයේ සේවකයන්ගේ දුක මාසික වැටුප මත නොවිසදෙන බව රජයේ සේවකයන් වූ අප තේරුම ගත යුතුය්..

    ReplyDelete