Sunday, June 26, 2011

20. ආයම්මා



පුන් සඳ සේ ම වටකුරු
මඩක්කුවෙන්
දුක සැප වලඳන
ආයම්මා


බේබි උකුලේ ඉන්න කොට
ගමේ සිට
දරුවන් ඇවිත් හීනෙන්
බදාගෙන ළයමඩල
සිප ගනියි හෘදවස්තුව
සියලු රුධිරය
මව්කිරි බවට පත් කර


මුළුතැන්ගේ
මිටි කොළොම්බුවේ
ඈඳිගෙන ඉන්න කොට
නුඹ
කෝම්පිට්ටුවක් වෙයි
මුව පැටියා
කිරි දතෙන් හපන කොට සෙමින්
ආදරෙන් ගස්කොලන් සෙලවෙයි.


හාපැටියා
කිරිපිටි අහරටගෙන 
අහවර වුණ පසු
නුඹ
කෝච්චි පෙට්ටියක් වෙයි
පුටු මේසවල නොහැප්පී
පීලි මත ම
පදවනා කල
පිටකොන්දේ රුජාව
යාන්තමට අමතක වෙයි


අලුත් විහාරෙට උඩින්
වටකුරු සඳ පේන කොට
ගමට යා යුතුයි
පොත් පැන්සල් සමග
ජීවිතය මිලට නෙළාගත යුතුයි


පඩි දාට
ආයම්මගේ හිත
ආයකට්ටෙන් පහුරු ගාන කොට
පිත්තල පෝච්චියේ
ප්ලාස්ටික් මලක් නම් හිනාවෙයි 

No comments:

Post a Comment