Sunday, June 26, 2011

15. ප්‍රේමවතී



නැටි කැඩුණු බලාපොරොත්තු
ගුලිගැහුණු බුලත් හෙප්පුව
සම්ප්‍රදායෙන් වහගෙන වඩාගන්නී.
කුරගගා නැකත ආ කලට එය
පුරැෂ ප්‍රාණයක් අතට දෙන්නී.
සිය වෙනි වතාවටත් ඇය
එරබදු ගහේ
කෙළකෝටියක් මල් ගනින්නී.


උදේ රැයින්
ඇස් පිහාටු දොර හරින්නී.
අඩු සීනි ප්ලේන්ටිය තනාගෙන
අද දවස සීරුවෙන් බොන්නී.
පාතරාසයට
කොළ කැඳ වීදුරුව වී
මව්පියන් කුසට වැද
ගම්මානෙට ම අලුත් දවසක් ගෙනෙන්නී.


දහවලට
හැඳි මිටෙන්
කිරි බතක් කාරුගාන්නී.
ගලේ ඇඹරෙන
ලුණු මිරිස
වෙදැඟිල්ල හපන කල
පිරුණු මැටි කළෙන්
සහනය රැගෙන 
ඔතා ගන්නී.


පොල් අතු වහලයේ
කැණිමඩල වී
කල්පයක් කල් හිඳින්නී.


කැඩපතක් දකින සඳ
වැහි වලාකුළු දොර රෙද්දෙන් එබී
සඳ මුහුණ බලන්නී
කුලමළ දෑවැදි උල්කා
ඇදවැටී
තැනුණ විසල් ආවාට
එහි දකින්නී
හා පොව්වෙක් 
පෙනේ දැයි
විපරමින් විපරමින් බලන්නී
කලු ලප මැ දකින සඳ
වලාකුළක් සේ දියවෙවී දියවෙවී
මහපොළොවට ම ඇදවැටෙන්නී


බිම වැටී ළය පැළුණු හෙප්පුව
සාලයෙන් කුස්සියට
හිස් මුදුනේ තබාගෙන වඩම්මන්නී.


අතරමන් වී
පිළිකන්නේ ලගින
බලු පැටවුන් ළඟට
සෙමි සෙමින් පා තබ තබා
යන්නී.
මවක් වී උන්ට ඕ
ජීවිතය කිරිපිටි කර පොවන්නී.

No comments:

Post a Comment