Friday, June 24, 2011

4. ඉසා


- අඳ ගොවි අයියා නොදුටුවා සේ
  ඉන්ජිනේරු පොඩි මල්ලී බෙන්ස් රියෙන් ඉගිළේ -

කෙතට ජීවිතය ගේන
මෘදු හැඟුම් උතුරන ඇළක් සේ

ඒ ඇළට සතුට දන් දෙන
රත්තරන් වාන් දොරක් සේ

ඒ වාන් දොරටුවට කිරි තනන
මහා මව් වැවක් සේ

එකටමයි අපි උන්නෙ

අල්ලාගෙන අත් පෝලිමට
හේනේ ඳඩුවැට වගේ

මල්ලී උඹට අමතකද
ඒ දවස්වල අපි
කුකුළු පැටව්
අම්මා පිටුපස
කෑම හොයාගෙන ඇවිදින
උඹ ඉතුරු කරලා
බත් පතෙන් භාගයක් අපට දෙන.

අමතකද අපි
ගඟට පැන
මාලුවන් වුණ හැටි.
උඹ තල්මසා
අපි ඔක්කෝම
එක කටට ගිලදමන.
දුක හිතිලා ආපහු
එතනම වමාරන.

මතකද ඉස්සර උඹේ
පුන්චි කරත්ත ලොරි භාගේ
මුලු ගමම පටවගෙනයි උඹ
හත් දොහක් වටවන්දනාවේ ගියේ

නායක වෙලා කෙළි ගෙදර
කවුද උඹ
අනේ හිරෙන් නිදහස් කළේ
විභාගෙට යන්ට පාවඩය දැම්මේ !

ඉතින් මඩ හෝදගෙනයි මන්
කෙතින් ගොඩ ආවෙ
කවදාද මල්ලි මන්
රජ වෙන්නේ

1 comment:

  1. මේක බොහාමයක් ගොවි පවුල් වල සැබෑ කතාව. මේ වගේ අත්දැකීමක් මගේ අම්මාගේ පවුලේත් තිබුණා. ඔබ ඒක සියුම් විදිහට දනව්නවා.

    ReplyDelete