Sunday, June 26, 2011
21. කොහු මෝලේ සහෝදරීට ආධුනික කවියා ලියූ වචන
පල් වතුර පොකුණෙහි
පිපි නෙළුම් මල නුඹ
මදුරුවන් රොන් උරන !
පොල් ලෙලි මතට
වැරෙන් දෙන පහරින
කුඩු ව දහවල් සිහිනය
ඇහැරුණිය මගෙ සිත
දුටිමි නුඹේ අත්ල මම.
කරගැට කඳුවලින්
පටන් ගෙන
දස දෙසට ගලාගෙන යන නිම්න
සිඳී ඇත
මේ ආකහේ තව ම
වැහිවලා නැති බැවින.
නුඹේ
එක ම පියයුරෙහි
කැටිගැසුණු ලේ
පාර දිගට ම වැලි ලෙසින්
ඉහිරිලාය.
හිමාලයටත් වඩා ලොකුවට
සෙනෙහස තිබුණාට ම
උතුම් මව්කිරි තැනෙන්ණේ නැති හෙයින්
පෙති අතර ගුලි වෙලා
සමනළුන් හඬන හඬ
ඇසෙයි මටත්
අත ළඟ ම
තුටු වෙන්ට
විඳින දුක් එකතු කොට
සඳැස් කවියක බහා
ගයන්නට නොදන්නෙමි නට නටා තාලයට
රළුපරළු ගල් බිතක
කුරුටු කවි ලියනු මිස
හිස මුදුනේ ම
මලක් පිපෙන මතු දිනෙක
දෝතින් ම පැණි පොවමි
මම උන්ට
ලොකු ම කව එය බැවින !
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment