Monday, June 27, 2011
32. හිමිකාරියට
හෙමින් පා තබ තබා
හෙවණැල්ල සේ පිටුපසින්
පැමිණෙනා හඬ දැනෙයි මට
යන එන හැමතැන ම
ඡායාවක් වගේ
හදවත පුරා වැතිරී හිඳියි නුඹ
ගමක
නගරයක
කාන්තාරයක
ක්ෂේම භූමියක
මුහුදු හතෙන් එහා
නොදන්නා වෙන රටක
මේ කොහේ හෝ තැනක
නුඹ ඇත්තටම
ජීවත් වෙනවා ඇති
මේ දැනුත්
සමහරවිට දැන්
කන්තෝරුවක වැඩ කරනවා ඇති නුඹ
ඉහින්කනින් වීර්යය වඩාගෙන.
කුස්සියේ යුධ දුම් මැද තිනිවෙලා
ගම්මානයටම බතක් උයනවා ඇති.
කාටවත් ම නෑසෙන්නට හොරෙන්
අලුත් කවියක් නෙළාගෙන
සමනළ තටු පිරිමදිනවා ඇති සෙමින්.
අසනීපයක් හැදී
අනේ ඇසේ මල්පෙති පියාගෙන
රෝහලක දිගෑදී ඇති.....
නුඹ
හවස් වරුවේ
ගහක් යට ඈඳිගෙන ඉන්න කොට
ඈත අහසේ මුව පුරා
රාස්සිගේ හිනාව ඉහිරෙනවා දකිනවා ඇති.
කුරුල්ලන් ගී ගයා
පියාඹා කඳු වළල්ලට උඩින් යන කොට
මලක් ගෙල දිගු කර
නටුවෙන් එබෙනවා පේනවා ඇති.
දේදුන්නක් නැමී
වැව් දියේ ළය අතගානවා
දැනෙනවා ඇති.
දෙපා මුල දැවටෙන
මද පවන
යාන්තමට අත්තටු සලන හඬ
ඇහෙනවා ඇති.
ගල්පරයක් උඩ වාඩිවෙලා
ඔහේ තනි ව ම ඉන්න කොට
මහ මුහුදෙ ගොළු මාළුවෙක් ඉන්නවා දකිනවා ඇති.
කොහේ හිටියත් නුඹට
සැබෑවටම මං ගැන
මොකක් හරි හිතෙනවා ඇති.
තවත් හැංගෙන්නේ මොකටද ඉතිං
ඉන්න තැනකින්
එළියට එනවාද අද හෙටම
Subscribe to:
Post Comments (Atom)
හරිම ලස්සනයි අයියා.. සුබ පැතුම් අලුත් බ්ලොග් එකට
ReplyDeleteතාම හම්බුනේ නැද්ද?උඹ කියන්නෙ මගේ හිතේ තියෙන දේද මන්ද?
ReplyDeleteසමිත ..හැම තැනම හිමි කාරියව දකිනවා..මහා මුහුදේ ගොළු මාළු ඉන්නවා.. ඔවු සමිත උන්ට ගොළු නොවී බැහැ.. ඒක කතා කරන්න පුළුවන් වෙනවට වඩා මොනතරම් සුන්දරද?
ReplyDelete