Saturday, June 25, 2011
14. කොහොඹ ගස !
කාත් කවුරුත්
නැති ව ම
පිළිකන්නේ ඔහේ හැදුණූ
ගස !
හදිස්සියක් වී
මූත්‍ර කරන්නට ගිය විට
පිළිකන්නට
පෙනුණි මට
කලාතුරකින් දවසක
තව ම නුඹ
ජීවත් වන බව
මෙලොව ම
"මද පවනට වුව
ගැලවි ගැලවී බිම වැටෙන කොන්ඩය.
කළු පාට හම
කොටුරූල් කොරල පොතු ඉලිප්පුණ.
සෝමාලියාවෙන් ගෙනා
කම්බි පෑදුණ කඳ.
එහෙට මෙහෙට දුන්නක් වගේ නැමෙන
බෙල්ල.
එකවැර ම
නුඹ බිම හෙලුමට
පිහා, කෙටේරී කුමට ?
එක වතාවක්
මුවෙන් සුසුමක් පිම්බ කල
දිරූ පොල් අත්තක් සේ ම උඹ
ඉදිරී ඇද වැටෙනු නිසැකය
දෙරණ මත උඩුබැල්ලෙන් ! "
සිනාසුණා අපි නුඹට
බිම පෙරළි පෙරළී එකදිගට.
රුජාවක් හැදී
මගේ බඩ
පිහිතලෙන් කැපී ගිය දවසක
නුඹ ඒ කිසිවක් ම මතක නැති ගානට
අවුෂදයක් දුන්නා මට
පහත්කර හිස
තබා පෙරට පය.
තවත් දවසක
ඇලෙව්වා බෙහෙතක් නුඹ
පුපුරා
ලුණු මිරිස් වැටුණු මගේ යටිපතුල්
එතැන ම හොඳවෙන්ට එකපාරින්.
එක දවසක
පිස්සු බල්ලෙක්
පන්නාගෙන එන කල මා පසුපස වියරුවෙන්
නුඹ
ඔය අතක් පහත්කර වේගයෙන්
අල්ලා මගේ සිරුර
ඔසවා ඉහළ අහසට
ගලවා ගත්තා
මගේ ආත්මය නොපැකිල ව.
අනේ
මෙවන් කොහොඹ ගස් යට
බුදුවරුන්
බුදු වුණේ නැතුවද ?
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment