Sunday, June 26, 2011

16. අමතකවීම



සබඳ බිල්ඩිම
ආකහේ හිස ගෑවෙන
යෝධයෙකු වගේ තරවුණ.
නුඹ
මූණ හෝදගෙන
පවුඩර් උළාගෙන
රත්තරන් සළු දවටගෙන
නගරයේ හරි මැදට වී
සීරුවෙන් හිටගෙන ඉන්න හැටි
බලාගෙන ඉන්න කොට
අමතක වුණා මට
වීදියේ අනෙක් පස
කොලනියේ
ගෙයක් නැති උන් සිටින වග


මුතු පේන හිනාවක්
මුව පුරා පැලඳගෙන
මහා පෝස්ටරයෙන්
එබි එබී මා දෙස ම බලන
සිඳගන
රත්තරන දුරකථනයක්
හැමදා ම කනේ ගහගෙන නුඹ
කතා කර කර ඉන්නවා දකින කොට
අමතක වුණා මට
පොල් අතු ගෙයි දොරකඩ
දිරූ උළුවහු වගේ හිටගෙන
කල්පයක් කල් නිදි මර මරා
යුධ බිමෙන් ලිපියක් ලැබෙන තුරු
මඟ බලාගෙන
අපේ ම උන් සිටින බව ගම්මානවල.


මහා උද්‍යානය මැද
වැඩවසන
මහ දවාලෙත් තරු පායන
කුණු කානු දිගේ පෝෂණය
ඉතිරි ඉතිරී මහ මුහුදට ගලාගෙන යන
රට බීම දිගා වී
දිලෙන රතු සිමෙන්තියේ
යටිපතුල් සෝදන
කඩවසම් හෝටලය
ඉතින් නුඹ දෙස බලාගෙන සිටින කල මිතුර
අමතක වුණා මට
මේ බිමේ ම කෙළවරෙහි
මායිම් වුණ ගල්තලාවේ
මන්දපෝෂිත පතොක් ගස් වැනි උන්
ඇටසැකිලි ඔසවාන
උඩ බලාගෙන ඉන්න වග
බත්පතක් බිම වැටෙන තුරු එක මොහොතක


ඉතින් මේ ගැන
තටම තටමා
මේ චූල කවිය ලියා තබා ගමි මම
මගේ පපුවට අත්දෙකෙන් හිර කර
කිසිදාක යළි
අමතක නොවන්නට මේ කිසිත්

1 comment:

  1. මිනිස්සු රැවැටීමට ලක්ව සිටින හැටි ඔබේ අපුරු භාෂාවෙන් මවන හැටි අපුරුයි..

    ReplyDelete