Sunday, June 26, 2011

27. වීදි දරුවාගේ කවිය

යකඩ දඬු අත්වලින්
කුසට
කම්බි ඇණ අනිද්දී වුව
මා වැදූ අම්මා
නුඹය

පියයුරු කපා දැමූ කල
විස්කෝතු කව කවා
මා රැක්ක අම්මා
නුඹය

පව් නොකළ වුන්
ගල් ගසන කල මට
ඉදිරියට පැන
ඇටකෝටු ළය පෑව අම්මා
නුඹය.

මදුරුවන්
ඇල්පෙනිති විදින කල
මගේ සිරුරට
වස්ත්‍රයක් වගේ
මා වෙලාගත් අම්මා
නුඹය

රැකියාවක් 
පිඬු සිඟ සිඟා ගිය දාක
බොර දිය ම මුසු
පිළුණු බත් ලැබුණෙන්
සරීරේ මස් කප කපා
විකුණා
අනේ උණු බත් පැකැට්ටුව
මට ගෙනා අම්මා
නුඹය

මුඩුක්කුව කෙලවරේ
ඉස්කෝලෙට යන්ට
මට නැවුම් වස්ත්‍ර ඇරන් දී
දියවෙලා ගිය ඇඳුම හැඳ
නිරුවතින් හිටි අම්මා
නුඹය

සුනාපරන්තේ
වේරන්ජනා වීදියේ
මහා බිල්ඩිමට පිටදී
තුන්කාලයේ ම වැඩහිඳින
මගේ රත්තරන් අම්මා නුඹය !

1 comment:

  1. උඹේ කවි ඇත්තටම පපුවටම වදිනව බං...මේක කියවනකොට මගේ පපුව හෝස්ගාල ගියා..

    ReplyDelete