Friday, June 24, 2011

1. පූජාව !



සාලය පුරා
ඇති තරම් 'බිතුසිතුවම්' අඳින්නට
පාට පාට පැස්ටල් කූරුවල ඔතා
මට මගේ නිදහස දෑතින් ම ගෙනත් දුන්නේ
නුඹය.

නුඹේ උපකරණ
ඇද ඇද ගලව ගලවා
විද්‍යාව පිරික්සන සඳ අප
නිහඬව ම ඒ දෙස බලා සිටියේ
නුඹය.

සරුන්ගල් වලාකුළු පිටුපස
දුවන්නට
පිත්ත ගෙන දකුණතට
මුළු දවස ම පිට්ටනියේ උඩ පනින්නට
මට මගේ ළමා කාලය ම
සිනාසී දන්දුන්නේ
නුඹය.

වත්තපුරා සක්මන් කර
පොල් ඉරටු හොයන කොට,
තටු ගස ගසා
අහසපුරා පියාඹන්නට
සරුන්ගල් පැටියාට පිහාටු පලඳන කොට
මා ළඟින් ම නතර වී
හැමදා ම වීර්යය වී සිටියේ
නුඹය.

අකුණු ගහන මහා වැස්සක්
බිම හෙලන කොට මම නෙතින්
"කූරියන් ගහන සරුන්ගලයත් ලස්සනයි"
අලුත් ම පාඩම කියා දුන්නේ මට
නුඹය.

අපබ්‍රන්ශ
මුළු රාත්‍රිය පුරා ම
ඇහේ නිදිකුම්බා කටු ඇන ඇන
කටපාඩම්ම නොකෙරුවැයි
ටියුෂන් මල්ලව පොරයට
ගස් ගල් පෙරලගෙන 
පිම්මේ ම නොගියා යැයි
කෝප වී
වේවැලෙන් ලේ පාට වේදනා ඉරි
තට්ටම පුරා නොඇන්දේ 
නුඹය.

ජීවිතේ මුඩු බිම්වල
ඇවිදලා ඇවිදලා
එළවළු පලතුරු රැගෙන
වැඩ ඇරී ඇවිත් කැදැල්ලට
අපට ඇහෙන සේ
හයියෙන් ම කියවා නොයෙක් පතපොත
මෘදු හැඟුම් උළා දිව අග
අත් දෙකෙන් ම මට
මගේ කවිකම ගෙනාවේ
නුඹය.

පුන්චි අත
නොබිඳෙනා බැඳීමෙන් අල්ලාන
කුරුළු ගීත අතගාන්නට
මල් සුවඳෙ ඇස් බලන්නට
මව්බිමේ හැම බිම් අඟලකට ම
මා රැගෙන ගියේ
නුඹය.

අප්පච්චී
කැලේ පිපුණු මේ මගේ කවි ටික
එකතු කොට
සිලිමල්ල පිරෙන්ට ම
නුඹේ සොහොන පාමුල
තබමි දෝතින් ම මම
මලක් සේ පරනොවී
හැමදාම නුඹ ළඟ රැදෙන්නට !

2 comments:

  1. පූජාව කියැවීමි..
    නෙතේ කඳුලු කැට තාම නෑ වියලිලා. ඒ තරම්ම සංවේදීයි ඒ කව..

    ReplyDelete
  2. සමිත ..මේක කියවද්ද්දී මට මගේ තාත්තාවමයි මතක් වුනේ. ජිවිතේ සියල්ල විදින්නට දරන්නට එකම නියමුවා තාත්තා..ඔවු මවුබිමේ සියලු අඟලක්ම ගෙනගිය..කියවා නොයෙක් පතපොත ..නිදහස දුන්..වීර්යය දුන් ඔබෙත් මගෙත් තාත්තලාට ..ඔබ සමඟ මේ පුජාවට මමත් එකතුවෙනවා ඒක හිතින්ම...

    ReplyDelete