Saturday, June 25, 2011

7. තාත්තා



පැන්ෂන් දාට
ලැව්ගිනි ඇවිලෙන පිටකොටුවේ
වීදියක් වීදියක් ගානේ
ඇවිදියි.
සෙල්ලම් බඩු මැදුරක් ළඟ
පලතුරු ගස් කඩයක් ළඟ
නැවතිලා
ඇලපිල්ලක් පාපිල්ලක් ගානේ ම
මුනුබුරන්ට සතුට ඇහිඳියි.
වෙව්ලනා අත් දෙකෙන්
නගරය ම වඩාගයි.


සරීරේ හැම තැන ම 
රැලි ගැසිලාය.
හම
කාල වර්ණ ව ගොස්ය.
දෑත්,පා
හැරමිටියක් සේ ම කෙට්ටුය.
තාත්තා මහලු යැයි කියන්නට
හිතෙන්නේ නැත මට.


කැරකෝප්පුව ළඟට ගොස්
අම්මාගේ තනියට ඉටිපන්දමක් තියලා
මුළු පඩිය ම
එළවළු සිලිමල්ලෙන් කිරලා
පායයි ගේට්ටුව ළඟ
තාත්තා


සීසීකඩ
විසිරිලා ඇති
ඇටකෝටු වචන එකතු කොට
එකමිටට එක සැණින්
ලියාගත නොහැකි ව කවක්
බලාගෙන හිඳිමි මම ගොළු ව
හෙමි හෙමින්
ගේට්ටුව පසු කොට
බුදුන් වඩින දෙස ගෙදරට
හිනාවෙන් පුරවාන පාත්‍රය ! 

2 comments:

  1. සහෝ...
    කොහෙන්ද මම වචන හොයාගන්නෙ මේවට කමෙන්ට් දාන්න...

    ReplyDelete
  2. ඔයා හරි සංවේදී කවියෙක් සමිත.. ඔයාට දැනෙන දෙ ඒවගේම අපටත් දනවන ඒ සංවේදී බව තමා ඔබේ අපුර්වත්වය.

    ReplyDelete