Saturday, June 25, 2011

8. මුහුදු හතෙන් එහා දීපන්කරයක රැකියාවට ආවෙමි



දස අතට
දුම් බටෙන් හති දම දමා
දුව යන
ලක්ෂයක් මිනිසුන් අතර
මා වැලඳගෙන හිනා වෙන්නට
උඹලාගෙන් එකෙකුවත්
මොහොතකට සිටියේ නැත මිතුරනි මෙහේ
ගෙල මිරිකන තනිකම ම මිස.


කෝටියක් කටහඬවල්
ඇහෙයි මට හැම විට
යකාගේ කම්හලින් බිම වැටී
කුණාටුවක් සේ රැලි ගහන
ඒත් ඒ අතර
'කෑවාද - බීවාද' විමසන
උඹලාගේ සෙත් පිරිත් හඬ
මෙහේ කොතැනකවත් තිබුණේ නැත මිතුරනි
හවසට එකතු වී ගී ගයන්නට මට.


හෝටලෙන්
මස් මාළු මිලට ගෙන
කටු හපමි තනි ව ම.
අපි ඔක්කොම එකතු වෙලා
බෙලෙක් තසිමෙන් එකට වැළඳූ
අපේකම
මෙහෙ කොහේවත් නෑ මිතුරනි.


සීත හිම කැට
බිම දිගේ ගලන කොට
වානේ නලයෙන් උණු දිය නාමි.
හිරු පුපුරා
ලාවා වැහි වහින කොට
හිමාලයේ උල්පතින් ගෙනා
සීත දිය නාමි.
මහ ඔයේ දී
උඹලා එකතු වී එක රොත්තට
මගේ ඇඟට
දොළොස් අත්වලින් ඉස්ස
සෙනෙහසේ වතුර පොද
මෙහේ නෑ මිතුරනී.


වාහන උඩුබුරන තැන බෝඩිමේ
යකඩ ඉනි අතර හිර වෙලා
ක්ෂිතිජය බලාගෙන ඉන්න කොට
උඹලා ඔක්කෝ ම
අඩි පාරක් දිගේ
ඇවිදගෙන ඇවිත්
පෙරහැරක් යයි මගේ හිත ඇතුළේ
රත්තරන් කරඬු ඔසවාගෙන හිසෙන්


ඉතින්
ඇඳේ ලැගගෙන
අතීතය වමාරා කමි මම
ජීවිතය දිනන්නට
ප්‍රෝටීන ගනු පිණිස !

1 comment:

  1. හැබෑ තනිකමක් දැනෙනවා ඒ වචන තුල..

    ReplyDelete