Friday, June 24, 2011

3. අබිසරු ලියගේ සැබෑ ම ප්‍රේමය !


පටකුඩ හොයාගෙන
උඩරට මැණිකේ බඩගාන
රේල් පාර අබියස
මලකඩ ටකරන් හෝටලය
හාල්මැස්සෙක්  පීනන
ලුණු හොදි සාගරේ රළ
පාන්ගෙඩි කන්ද
ඛාදනය කරන.

එහි
කැලණි තිස්ස රජුගේ
තෙල් කටාරමේ
වඩේ ගුලි බදින
මගේ පෙම්වත 
පපුවේ
කළු දුඹුටු බැඳුණ
රීප්ප පටි පෙනෙන.

රෝම කූප
උළ උළා කන
ගවර ගින්දර දිව
ගිලුනාම
ඔරලෝසු කණුවට උඩින් එබෙන
සඳ එළිය
දුහුවිලි අවුස්සයි සුමිතුර.
සීත පිනි කැට
හිත මතට
කඩාගෙන වැටෙයි හිමිහිට.

දහසක් පෙම්වතුන්
එළිපිටම
උන් උන් බදා පෙරළෙන
මහා තානායම ළඟ
කුණු කසළ පිළිකන්නේ
නතර වී,
පපඩම් බැද
තෙල්වලින් පිළිස්සුන
පොල්කටු හැඳි සදිසි නුඹේ අත් දෙක
හොර හොරා හොර හොරා
ඉතින්
දෝතින්ම  අල්ලා සිප ගනිමි මම
මා නෙලූ මල එය බැවින !

1 comment:

  1. වෙනස් ආදරයක් වෙනස්ම කෝණයකින් දැකල කියලයි ම්ම් හිතන්නේ. "කැලණිතිස්ස රජුගේ තල් කටාරමේ වැඩේ ගුලි බදින " කියන තැන පරිසරයෙන් ගන්නා සාමාන්‍ය උපමාවක් පවා ඔබ . ඔබටම ආවේනික විදිහකට කවියතුල යොදා ගෙන තියෙනවා.. අන්න එතනයි සමිත ඔබ.. ඔබේ අනන්‍යතාව..

    ReplyDelete