Saturday, June 25, 2011

11. තනිකඩයා සහ කුකුළා !



මගේ කුකුළෝ
පහුරු ගගා කුණුගොඩ
විටමින් ගිලින ඔය හොට
රත්තරන් පාටය.
කැරට් දහ අට ද විසි එක ද ?


ඔය ඉතින්
මල් වැස්සකට තෙමුණේ
අත්තටු ඇඳුම්
තමුන් ම හෝදගන්ට ද ?
මනමාලයා !
හා හා හරි හැඩයි
පිල් පිරුණු දිගු පෙන්ද
ඉතින් ආඩම්බර නැතුව යැ උඹ.


ඊයේ මන් දැක්කා
උඹේ ගෙදර.
කොහෙන් ලැබුණා ද බන් උඹට
ඔය අන්තක්පුරය
හැබෑට ම පරම්පරාවෙන්වද ?


උඩට පැන
යටින් අනින
පොරකටු කිනිස්සට නම්
ඕන් මන් කැමති නැත
බින්දුවක්වත්.


උරහිසක් පාත්කර
බඹරයක් වගේ එක තැන ම කැරකී
උඹ නටන වෙස් නැටුමේ තරම !
බෙරයක් නැති මන්
උඹ එක්ක ම පදේ කොහොම අල්ලන්ට ද බන්


ඉඳින් මයෙ කුකුළෝ
මගේ හැම දුකක් ම
දිය වෙලා මුහුදට ම ගලාගෙන යන්ට
හඬලපාන් බලාන්ඩ
ස්වර ප්‍රශ්ථාර පොතක නැති
අලුත් ම ගීතයක්


මොනවා වුණත්
උඹේ බොක්ක හරි හොඳයි බන්
ගල් කැට පවා එහි දිරවයි !


කුකුළෝ
මගේ රන් කුකුළෝ
වරෙන් වරෙන් මගෙ ළඟට
තුන්බිය දා වගේ
බය වෙන්නේ කුමකට ද ?
මස් බුදින්නේ නැති හෙයින් මම
දිගු රදනක දත් නැතිය මට.
බරු ගසා දමන්නට ඇඟමස
කොටි නියපොතු ද නැතිය මට.
විරිත්තන්නේ නැතිය මම
පොඩි එවුන් බය කරන්නට.


පෙන්නපන් බලන්ඩ
ඉතින් ඔය කරමල ඔටුන්න
කිකිළියන් අතගාන
සුරත් ඵලයක් වගේ බබළන.
( තව ටික දිනකින්
  සුදු පාට වෙයිවද්ද ? )


ගෑරුප්පු හොටෙන් පපුවට
දමා තට්ටුවක් හෙමිහිට
අනේ උඹවත් බලාපන්
මගේ හර්දය තියෙනවද කියලා හොඳින්


කොන්ඩ කැවුම් මූණට
දැන් උඹත් කැමති නැතුවා ද ?
අහක බලා ගත්තේ ඔහොම..........


උදේ හවා
බිතුසිතුවම් රූපයක් මෙන් දකින,
අපේ වත්තට ඇවිත්
පපුව අතගා
කොළරොඩු අතුගා දමන
මගේ යාළුවේ ඉතින්
ලැජ්ජා නොවී
කියාපන් මට
කනට ළන්කර හෙමින්
උඹේ අර කිකිළී
බිත්තරයක් දැම්මද ඊයෙත් ?

1 comment:

  1. හරි ම අලුත් අදහසක් . අපුරුයි

    ReplyDelete